Wednesday, September 19, 2018



මුකුලිතවි මහ රැයට නිදිවදින විහඟුනේ....
විකසිතවි මහ රැයට
මල් තෙමන පිනි බිදේ....
ඇයත් අද නිදි නැතිව දෙගොඩහරි යාමයේ....
ෆැක්ටරියේ වැඩගොඩක් ගොඩගැහී මයේ හිතේ.....

වැහිදියේ හෙලෙනු මැන පිනි බිදක් නිදහසේ
වැටෙනු මැන පිනි බිදේ කුරුළු යහනාවතේ..

විහඟ, හනික නුඹ අවදි වී.....
සරනු මැන ඒ යහට මහ රෑම කළුවරේ....
සඳ එළිය නුඹේ නමට එළියදෙයි හිතවතේ...
තනි නොවනු නුඹේ ළගින් රැදෙයි ඒ පිණි බිදේ....

ගොහින් නුඹ ඇය අසළ රැදී මොහොතක් මලේ...
හෙලණු මැන පිණි බිදුව සෙමින් ඇගේ මුව වටේ.....

keshara damith

Thursday, June 28, 2018

නුඹ සොයා ගත් මොණර කොළයක් මා ගෙවා දැමු මතක පදයක්







සරා සද අභියසක
නුරා පහසක පැතුම
මලානික අහස යට
සේවූ සිසිවන සුවදක මහිම.......

වරා මල් සිතක් යට
කෙලෙස සොයමිද සෙවන මම
මවා ගත් ප්‍රේමයක
වින්ද සිත් කවිය නුඹ.....

ඇහෙන් ඉගිකර පහස ගැන
ගයන්නේ අනුරාගි ස්වර නුඹ
තනන්නේ රෙසි කලාවන් ළැම
සරන්නේ ඇට මිදුලු නහර වල.....

අතැගිලෙන් තද කරපු මස්පිඩු
මතක් කෙරුවා ජීවිතේ වග
මේ නුඹයි සහ ඒ මමයි බව...

හීන් කිතියක් හදවත අසළ
අහෝ නෑ ඒ වෙදානාවක්
නුඹ සොයාගත් මොණර කොලයක්
මා ගෙවා දැමු මතක පදයක්......

Thursday, December 14, 2017

මේක ගෝනි බිල්ලන් ගැන කතාවක්

රෑ වුනාම එන ගෝනි බිල්ලන් ගැන මගේ මතකයේ හැටියට මම පළමුවෙන්ම අසා ඇත්තේ මගේ සීයාගෙනි.ඔහු මා හා සබැදි මතකයන් ඉතා අඩු වුවත්,ඔහුගේ ඇතැම් ගති සිරිත් මට තවමත් හොදට මතකය.තම තියුණු දෑස් උඩට පහළට කරකවමින්, සිංහල දුම්කොළයෙන් හැදුණු,මඩ පුවක් ගෙඩියකට ආසන්න අඩු වැඩියෙන්,හුණු බුලත් යහමින් දැමූ හීනියට කෙටූ බුලත් විටක් දත් නැති හක්ක මත තබා අඹරමින් ඔහු මට විස්තර කළේ ගෝනි බිල්ලා ගැනය.ඒ මට යාන්තම් අවුරුදු හතරක පහක වයසකදීය.



ඔහු විස්තර කළ ආකාරයට ගෝනි බිල්ලා යනු දැවැන්ත මනුෂ්‍යයෙකු නොවන සත්වයෙකි.කුඩා ළමයි ආහාර නොගන්නා විට ගෝනි බිල්ලා පැමිණ ළමයා නිවසින් රැගෙන යෑම සිදුවන බව ඉතා කුඩා කළ මා විශ්වාස කල කතාවයි.ඒ කතාව මට කීවේ සීයාය.සීයාගේ ගෝනී බිල්ලාගේ මතකයන් අමතක වෙන්නත් කලින් ආච්චි මට ගෝනි බිල්ලා ගැන කීවේ පාසලේ තුන,හතර පංති වලදීය.ඇය පැවසූ ආකාරයට ගෝනි බිල්ලා ඇතැම් දිනවල පාසල් යෑමට අකමැති ළමයින් මෙන්ම තනියම වත්ත පහළට යන ළමයින්ව උස්සාගෙන යන්නට මාන බලන බව පැවසීය.තවද ගෝනි බිල්ලා ළමයින් රවටන්න බැලුම් මෙන්ම ටොෆී වැනි දෑ දෙන බව ආච්චී මට සදහන් කලා හොදින් මතකය.මේ හැර මා කුඩා කළ ගෝනි බිල්ලා ගැන කියා මා බය කරන්නට උත්සහ කල කිසිවෙකු මට මතක නැත.


අද මම තරුණයෙකි.ගෝනි බිල්ලාගේ මතකය අමතක නොවෙන තරමටම මගේ හිතට කුඩා කල එකතු කිරීමට ආච්චිටත් සීයාටත් තිබුණු හැකියාව අද වැඩිහිටියන් සතු වනවාද යන්න ගැටළුවකි. ආච්චිගේ සහ සීයාගේ මතකයන් අතර සිටි මට ගෝනි බිල්ලා මතක් වුනේ ඉබේටමය.සීයා මට ගෝනි බිල්ලා ගැන කියූ සැටි අපූරුය.ඔහු විට කොටන්නට කම්මැළිය. ඔහු මා ලවා විට කොටා ගන්නා අතර ඔය ගෝනි බිල්ලගේ කතාව මට කීවේ ඇගට දැනෙන නොදැනෙන ගාණටය.එය ළාබාල මට සීයාට හීනියට කෙටූ බුලත් විටට වඩා රස ඒ වගේම බය කතාවකි.බොරු ලෙඩ ගෙන පාසල් ගෙදර වැඩ නොකරපු දිනවල සෙල්ලම් කර මදක් විවේක ගන්නා මොහොතක ආච්චි ගදම ගද තෙල් බෙහෙත් බෝතලයද රැගෙන ගෙදර ඉස්තෝප්පුව ඉස්සරහට එන්නේ මා ලවා ඇගේ කකුලේ තෙල් ගා ගැනීමටය.ඒ වෙනුවට වසා ඇති අගේ පරණ අල්මාරිය පෙන්වීමට ඇයව පොරොන්දු කරවා ගැනීම මගේ සිරිතය.අගේ දෙකකුලේ තෙල් ගාන අතර තුර ඇය ගෝනි බිල්ලගේ කතාව කිව් හැටි මට තාම මතකය.ආච්චිගේ ගද තෙල් මට කොතරම් ගද වුවත් ගෝනි බිල්ලගෙ කතාව තුළ ඇති බිය සහ සුන්දරත්වය ඊට වඩා සුවදය.මා කුඩා කළ රාත්‍රී කෑම කන්න අදිමදි කරන අම්මා සමග ගැටුම් ඇතිකරගන්නා මොහොතවල සීයා පැමිණ ගෝනි බිල්ලා ගැන සිහිපත් කළ යුරු මට තාමත් මතකය.ආච්චි ගෝනි බිල්ලා කතාව පැවසීමෙන් පසු මා පාසල් ගොස් නිවසට පැමිණි පසු පළමුවෙන්ම පාසලේ දෙන ගෙදර වැඩ කිරීම සිරිතක් කරගත්තේ ගෝනි බිල්ලාට ඇති බිය නිසා වන්නට ඇත.පසුගිය දිනක අප නිවසට පැමිණි ඥාති සහෝදරියක් ඇගේ වයස අවුරුදු තුන හමාරක තරම් කුඩා දරුවාට රාත්‍රී ආහාරය ලබාදීමට මහත් වෙහෙසක් දරනයුරු මා බලා සිටියේය.ඇය නිවසේ ඉදිරියට ගොස් විවිධ දෑ ඔහුට පෙන්වුවත් වැඩේ නිශ්පල විය.ඇය එක වරම අන්න පුතේ ගෝනි බිල්ලා කීවාය.ඉතාම ආයාසයෙන් තමාගේ මවගේ ග්‍රහණයෙන් මිදුණු පොඩිත්තා "ගෝනී බිල්ලොන්ට මම බය නෑ..ගෝනී බිල්ලොන්ට මම බය නෑ "කෑ ගසමින් නිවස තුළට දිව ගියේය."බලන්න මල්ලි මේ දැරුවානම් කවාගන්න පුදුම අමාරුවක් තියෙන්නේ".ඇය කුඩා දරුවා පසුපස ගියාය.ආච්චි සහ සීයා කුඩා කළ මා බය කළ ගෝනි බිල්ලා මෙනෙහි කරන විට මගේ සිතට අදටත් බියක් දැනේ.මේ පොඩිත්තාටත් නිවිසැනසිල්ලේ ගෝනි බිල්ලාගේ කතාව කියා දියයුතු යැයි සිතා ,මා දොර වසා නිවස තුළට ගියෙමි.

කේෂර දමිත්

Monday, November 20, 2017

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව


කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය. එකී රාමුව අභිබවා ස්වකිය ජිවිත මෙන්න ඉන් පරිභාහිර ලෝකය හස්තයට අරගෙන අල්ලේ නටවන්නට යත්න ධරණ නුතන මිනිසා ගේ වෑයමේ අඩු වැඩිය කොතරම්ම බොළද, ලාමක ප්‍රයත්නයක් දැයි වැටහෙනුයේ ඉදහිට ස්වභාවදර්මයා හෝ විශ්වීය ප්‍රපංචයන් අප වෙත මුදා හරින නොරිස්සුම් සහගත හැඩතල නිසාය. රතු ඉන්දියානු නායක සියැටල් කී විදිහට “මිනිසා යනු පරිසරයේ කොටසක් මිස පරිසරය යනු මිනිසාගේ කොටසක් නොවේ. අප ආරක්ෂකයෝ මිස අයිතිකරුවෝ නොවේ”.
කෙසේ වෙතත් විශ්ව ගම්මාන සංකල්ප, උග්‍ර ධනවාදය, සමාජවාදයේ හුදු සටන් පාට, ලෝක බලවතුන්ගේ ක්‍රියාකාරිත්වයන් අන්තර්ජාතික සංවිධාන මේ සියල්ලම මිනිස් සමාජීය පරිසරයේ නුතනයේ තීරකයන් වී හමාරය. එහෙව් වටපිටාවක් තුළ අප අපටම යායුතු ගමන තීරණය කිරීමට හැකිද යන්න නිරායාසයෙන් ගොඩ නැගෙන ගැටලුවකි. අවශ්‍යතාවයක් තිබුනත් එසේ සිදු කරන්නට බැරි තැනක අප හිරවී ඇත. අප පමණක් නොව සමස්ත ලෝකයම එකම දම්වැලක යදම් මෙන් එකිනෙකට එකිනෙකට බැදී ඇත. ඒ බැදීම තුළ “ශ්‍රී ලංකාව නමැති මේ දුප්පත් රටේ ක්‍රියාකාරිත්වය මෙන්ම දායකත්වය අතිශය තීරණාත්මක වනුයේ මේ සමස්තය තුළ අප රෝලක් ගැසිය යුතු නිසාය.කතාව සරලවම කිවහොත් මෙලෙසය.
පහළොස්වන, දහසයවන සියවස් වල බොහෝ අපරදිග රටවල් වල දේශ ගවේෂණ කටයුතු පුළුල් වීමත් ඔවුන් ආසියාව, අප්‍රිකාව මෙන්ම ලතින් ඇමරිකානු කලාපයේ යටත් විජිත සොයා යෑමට විවිධ හේතු පාට ඇතිව මෙම ඉසව්වලට යාත්‍රා කළ නිසාත් එම කලාප වල යටත්විජිත පිහිටවා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. එලෙස පිහිටවාගත් යටත් විජිත වල පාලනය ඔවුන්ට අවශ්‍ය ආකාරයට ගෙනගිය අතර තම ආගම් ප්‍රචාරණය මෙන්ම එම රට වල ව්‍යාපාර කටයුතු කිරීම ආදිය සාර්ථකව කරන ලදී. කෙසේ වෙතත්  විසිවන සියවසේ මුල්භාගයේ සිට යටත් විජිතවාදය දියාරු සංකල්පයක් වෙන්නට පටන් ගත් වකාවානුවක මෙම බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඕලන්දය ආදී රටවල් තම යටත් විජිත අතහැර යාමට පටන් ගත්තේය. එලෙස ඔවුන් එම රටවල් වලට නිදහස ලබා දෙන විට සියවස් ගණනාවක් යටත්විජිත මානසිකත්වයෙන් ජිවත් වූ මෙම රටවලට එය අමුතුම උත්තේජනයක් විය.
කෙසේ වෙතත් මෙම රාජ්‍යයන් ලෝක ප්‍රවාහයට සෘජුවම එසේත් නැත්නම් සක්‍රියවම සම්බන්ධ වන්නේ මෙතැන් සිටය. ආර්ථික වශයෙන් අසංවර්ධිත, දේශපාලනික වශයෙන් නවීකරණය නොවුණු එමෙන්ම සමාජීය වශයෙන් බහුවිධතාවයේ කොටස් කරුවන් ව සිටින මෙම රාජ්‍යයන් “නව රාජ්‍යයන් විය”. තවමත් තම රටට ගැලපෙන දේශපාලන ක්‍රමය අත්හදාබලමින් සිටින බොහෝ නව රාජ්‍යයන් ක්‍රියාත්මක වනුයේ විදේශ රටවල ආධාර මතින්ය. විදේශ රටවල්, සංවිධාන ණය ලබා දෙන තරමටම ඔවුන්ගේ ඇතැම් රෙගුලාසීන් වලට එකගවිමට මෙම රාජ්‍යයන් බැදී සිටි. ඒ පුද්ගලිකරණයයි. රාජ්‍ය යාන්ත්‍රණයේ පවත්නා දුර්වලතාවයන් මෙම රටවල් වලට පොදු අතර කෙසේ වෙතත් ඇතැම් රටවල් යටත්විජිත භාවයෙන් මිදුන සැනින්ම දීර්ග කාලීනව තම රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්නා ලදී. ඉන්දියාවේ අම්බෙඩ්කාර් නිර්මාණය කළ ව්‍යවස්ථාව අදටත් එහි සාර්ථකත්වය කියාපානුයේ, සිදුකර ඇති ඉතා අඩු සංශෝධන ගණන හේතුවෙන්ය. කෙසේ වෙතත් අපට තවමත් රටට සුදුසු සහ ගැලපෙන ව්‍යවස්තාවක්වත් නිර්මාණය කරගත නොහැකි වී තිබීම සෝචනීය තත්වයකි.
අවසාන වශයෙන් එක් දෙයක් නම් පැහැදිලිය 48 බ්‍රිතානයන් අපට නිදහස ලබා දී ගියත් අප නිදහස් වී නැත. ඔවුන් පසෙක තබා ගිය අවුල් වුන නූල් බෝලයක් නැවත අප රැගෙන නැවතත් අවුල් වියවුල් කරමින් පවතී. මතක තබා ගතයුතු කාරණාව වන්නේ දැනට අඩසියවසකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් අවසාන බවය.
Keshara Wijesundara.


Tuesday, October 31, 2017

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය












                                                                           වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි.තවකෙකු බලා සිටිනුයේ තම ප්‍රශ්නයට නිශ්චිතම,නිවැරදිම පිළිතුර කාලය විසින් ලබාදෙන තුරුය.අනාගතය,වර්තමානය සහ අතීතය තුළ ජීවිතය සොයා සරණ අපට සැබැවින්ම නිශ්චිත, නියම කල ජීවිතයක් නැත.අප මේ සොයා යනුයේ, හබා යනුයේ, අවිනිශ්චිත අනාගතයකි.එය මොහොතකට අකීකරු සිහිනයකි.තව විටක අසම්මත චාරිකාවකි.මාතෘකාවක් ගැලපිය නොහැකි කතාවකි.අවසානයක් නොමැති නවකතාවකි.
ඔබත් මාත් මේ මොහොත වනවිට එකට හිද හුස්ම ගනුයේ, විසි එක්වන සියවසේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ දියුණු වෙමින් පවතින එසේත් නැත්නම් දියුණුවෙන්න අර අදින යුටෝපියානු ෆැන්ටසි මානසිකත්වයේන් පිරුණු කුඩා දූපතකය.එය වූ කලී ශ්‍රී ලංකාවයි.
ඉතා දිගු සංස්කෘතික උරුමයක්,ශිෂ්ටාචාරයකින් පොහොසත් මෙකී දූපත එකී මෙකි නොකී බොහෝ දෑ ලෝකයට කියාදුන් එනම් පුර්වාදර්ශය සකසා සපයා දුන් රට ලෙස අප අසා ඇත.මහා සාගරය පරයා යන වැව් සෑදූ ඉතිහාසයක්, අන් කිසිදු රටකට නොදැවිණි වාරි තාක්ෂණයක් අප සතුය. ලොව ප්‍රථම වරට අහසින් යන යානයක් ගැන අප අසා ඇත්තේ රාවණා යුගය තුළයි.ඒ රාවණා ගේ දඩු මොණරය යි.ලොව ඉපැරණිතම බිතුසිතුවම් සීගිරි බිතුසිතුවම් වෙද්දී,අපේ රටේ දේශීය සටන් ක්‍රම වලට බයේ,රට ආක්‍රමණයට පැමිණි බොහෝ විදේශිකයන් පලා ගිය ඉතිහාස පුවත් ගැනත් අප කොතෙකුත් අසා ඇත.
ඉතිහාසය එසේ වෙද්දී වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් වනුයේ ඇතැම් විට ලාංකිකයා කලෙක සියල්ල විසදීමටත් පවත්වාගෙන යෑමටත් උචිතම තේමාව කාලය බවට නිල කල නිසා,නියම කල නිසා වන්නට ඇත.අවිනිශ්චිත අනාගතයට නිශ්චිත පිළිතුරක් ඔවුන් අතීත කාමය තුලින්ම නිර්මාණය කරන්නට ඇත.කාලය යනු හුදෙක් මුලක්,මැදක්, අගක් සනිටුහන් කළ නොහැකි අවකාශීය ප්‍රපංචයක් වුවත් ඔවුන් එයට නිශ්චිත අර්ථයක් සපයන ලදී.
සැබවින්ම එය වූ කලී මිත්‍යාවකි.ඉතාම රහට ව්‍යාප්ත වූ කටකතාවකි.ඒ සියල්ල පෝෂණය වුයේ මිත්‍යාව,ආගම්වාදය,ජාති බේද,මෙන්ම පෘඩත්වය,වීරත්වය මෙන්ම ශ්‍රේෂ්ටත්වය යන හුදු පද භාවිතයන් හරහාය.මේ සියල්ල කැටිකොට ශුද්ධා බුද්ධි සම්පන්න ලාංකිකයාගේ හැගීම් විකෘති කිරීමට කාලය ගතවන දෙස ඔහේ බලා සිටි කාලකන්නියා කටයුතු කළේය.එහි විපාක කාලය නමැති අවකාශීය ප්‍රපංචය තුළම අදටත් නිසොල්මනේ සැරිසරමින් අපේ මහ පොළොව ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමට අවස්තාව සලසා දෙයි.

මහා සාගර පරයා යන තරමටම විශාල වැව් නිර්මාණය කළ අපට සුද්දන් ලවාවත් හරි හැටි වාරි ව්‍යාපෘතියක් කරගන්නට නොහැකි වීමේ යතාර්ථය උමා ඔය ව්‍යාපෘතිය හරහා අපට අද මනාවට පසක් කොට දෙයි.රාවණා ගේ දඩු මොණරය ලෝකයේ ප්‍රථම අහසින් ගිය යානය බවට පත් වූ රටක, අද ලාභ ලබන ගුවන් සේවයක් හෝ අංග සම්පුර්ණ පහසුකම් සහිත ගුවන්තොටුපලක් වත් පවත්වාගෙන යෑමට නොහැක.බැලස්ටික් මිසයිල න්‍යෂ්ටික අවි පවා අත්හදා බලන නූතන ලෝකයේ රටවල් අතර අද අප සිටිනුයේ කොතැනද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු හෝ සිතා බැලිය යුතු කරුණක් නොවේ.මේ සියල්ල එසේ සිදුවුවත් කණගාටුවට කරුණ නම් ලීක්වාන්යු සිංගප්පුරුව නිර්මාණය කළේ කොළඹ නගරය දෙස බලා යැයි අදටත් අපේ රටේ ඇතැමෙකු සිහිපත් කරන්නේ හද පත්ලෙන්ම නැගෙන සියුම් අභිමානයක්ද සමගින්ය.
කේෂර විජේසුන්දර

Friday, October 27, 2017




උස් කතා ඇති තැනක 
හිස්ම හිත් රාත්‍රියක
වෙස්වලාගෙන ආව
විශ් එකක් වත් ද නුඹ කෙල්ල...

චැට් එකක් බොක්කටම
හිට් නොවුන හිත් හොරකමක
මහ රෑක කෑගහන 
උගුර එච්චරට රහද?

ශිෆ්ට් එකක් කෙල වෙච්ච
දුක කළුවරක තනිවෙච්ච
මිස් වෙච්ච ත්‍රිල් එකක්
ඇත්තමයි නුඹ සොදුර

නැහැදිච්ච කටක් ළග
ලොරි ටෝක් ඇවිස්සින
තිගැස්සින සිතිවිල්ල
හිනැස්සිය නුඹ රෑම..

සුවද නැති උණුහුමක්
හදිස්සියේ දුන් හාදුවක්
වචන අඩු පදපෙළක්
තවම නුඹ අහැරිච්ච 
නැති හීනයක්...

keshara 

Monday, October 23, 2017

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

                                                                         කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු මිනිසුන් අල්පය.විකල්පය ඉතිහාසය තුළ පත්තුවෙනවාට  වඩා ප්‍රතික්ෂේප වී ඇත්තේ පවතින සංධර්භය යාවත්කාලින වන රටාව අනුවය.

70,60,දශකයේ ලාංකේය සිනමාවේ තාරුණ්‍යයේ හරිම තියැරිටිකල් ව ඔහේ ගලාගෙන යෑමට පටන්ගත් මොහොතක  සිනමාවට ඔහු ප්‍රවිෂ්ට වනුයේ අනාරාධිත ආගන්තුකයෙකු ලෙසිනි.හැඩි දැඩි වැඩි පෙනුමැති තාරුණ වයසේ  සිනමා පෞරෂ්‍යය, ඉන්දියවාදී රැල්ලත් සමගින් ලාංකේය දේශීය සිනමාව වැලදගත්තේ එකම කලාවත්, එකම මුලාවත්, එවකට සිනමා ශාලාවේ බිත්ති හතරට පමණක් සීමාවී තිබූ නිසා වන්නට ඇත. 
සුපුරුදු බෙල් කලිසමත්,අවුලට පිරුණු සුළගට ඒමේ අත දගලන හිස්කෙයත්,හීන්දෑරි ඇගපතත්,උඩ බොත්තම ගැලවූ ෂර්ට් එකත් හීන්දෑරි ඇගපතත් එක්ක හැගීම් හුගක් ,දැනීම ඕනෑවටත් වඩා දැනුන දුක් විදීම උහුලන්නටත් බැරුව ජිවත් වෙන හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ  හිත් අතරින් හිට් වෙන ඉතිහාසයේ ලාංකේය සිනමා රූපය අලුත් කල වෙනස් කල රැඩිකල් රංගන ශිල්පියා ගැන ලියන්නට අවැසි බොහෝ දේ ගැන මගේ තෙළිතුඩ ඔහේ රගනු ඇත.මේ අමරසිරි කලංසූරිය නමැති අද්විතීය රංග පෞරෂ්‍යය ගැනය.ඔබටත් මටත් සමීප කලං ගැනය.
                                                                                                                           1940 සැප්තැම්බර් 20 වෙනිදා මහනුවරදී උපතලබන අමරසිරි  කලංසූරිය ජිවිතයට වැඩියෙන්ම ඉගෙන ගත්තේ නුවර අහස යටදී කිව්වොත් නිවැරදිය.උපතින්ම නැමුවත් නොනැමෙන කාගෙන යන  පෞරෂ්‍යයක්  උරුම කරගත් කලං ගේ කුඩා කාලයේම මව අහිමි වීමේ වේදනාව ඛේදනීය ලෙස අත්දකින්නට ඔහුට සිදුවේ. කලං ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජයෙන්.කාලයත් එක්ක කලංගේ සැගවිලා තියන කලා කාරයා අවදි කරන්න ඕන නිසාදෝ ,පියාගේ අභාවයෙන් පස්සේ පවුලේ අනෙක් නංගිලා මල්ලිලා උස්මහත් කරගෙන රැකබලා ගෙන ඉස්සරහට යන වගකීම් සමුදාය ඔහුගේ දෙවුර මතට පැටවෙනවා.යාන්තම් මේ තරුණයා එස් එස් සි ඉවර කළා විතරයි.අනේක විද වගකීම් එක්ක ගතේ බර ගැන නොහිතා හිතේ බර නිවාගන්න කලං කළයුතු බොහෝ දේ කරනවා ඔහු නුවර ආපනශාලාවක වැඩකරන අතරේ තමන්ගේ ඇගේ තියන ඇට්ටරකම හිතේ හයියෙන්ම වහගන්න බැරිවුන තැන, එතන වැඩ කරපු වැඩිමහල් සේවකයෙක්ට පහර දීලා එළියට බහිනවා.දෙවරක් නොහිතා තමන්ගේ අත හිරි වැටෙන තරම් හරි වැඩ කරලා ජිවිතේ නැගිටින්න හේතු හොයපු කලං ට ගල් වලක නතර වෙන්න සිද්ධ වෙන්නේ රුපියල් එකයි හැත්තෑ පහේ දවසේ පඩියට.ශ්‍රීලංකා යුධ හමුදාවේ සේවයට යන කලංගේ ජිවිතේ එතනිමුත් වෙනම තැනකට ගෙනියන්න ඔහුට ඕන වෙනවා.හමුදාවෙන් පැනලා එන කලං අවසානයේ නතරවෙන්නේ මහනුවර මල්ලිකා ජයාරූප ශාලාවේ වැඩ කරන එක ඔහුගේ ජිවිතයේ අනෙකුත් රැකියා අතරින් ඔහුට ලබා දෙන්නේ  වෙනස්ම ආකාරයක ආස්වාදයක්.ඔහුටම උරුම වෙච්ච ගති පැවතුම් නිසාදෝ නොසැහෙන මිත්‍ර සමාගමක් කලං වටා එකතුවෙලා ඉන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි.රංජිත් ට කලංව මුණ ගැහෙන්නේ මල්ලිකා එකේ වැඩ කරන කාලේ.සිනමා උෂ්නේ ගහලා තියන රංජිත්ට කලංගෙන් ලැබෙන සහයෝගය උපරිමයි කව්වොත් නිවැරදි.ඒ සහයෝගය නිසාම රන්ජිත් පෙරේරා නිර්මාණය කළ ප්‍රථම  සිනමා පටය වන “රැයත් දවාලත්” හි රංගනයේ  යෙදෙන්න අවස්තාව කලංට හිමිවෙනවා.එහි ඉතා සුළු රංගනයක නිරතවෙන අමරසිරි කලාන්සුරියගේ රංගනය ගැන වරක් ඩි.බි නිහාල්සිංහයන් රංජිත් සමගින් පවසා ඇත්තේ “කව්ද අර අතනින් එහාට මෙහාට යන හාදයා.?මිනිහා වැඩේ නියමට කරනවා”කියාය.


                                                                                                          කලංගේ එතෙක් විලංගුව තිබු සිනමා ආස්වාදය ඔහුගේ ජිවිතයට බිදෙන් බිද ටිකෙන් ටික ඇතුළු වන්නේ ඒ ආකාරයටයි.ඉන්දියානු සිනමාවේ දැවැන්ත සිනමාකරු සත්‍යජිත් රායි ගේ සිනමා නිර්මාණයනට කලංගේ අස්වාදනිය සිනමා අවකාශය පිරවීමට හැකිවන්නේ සැබවින්ම දෛවොපගත අනාගත සිනමා පෞර්ශයක් මෝදු වීමේ හැඩතල ඉසියුම් ලෙස වර්ධනය කරමින්ය.ජිවන රග මඩල තුළ  අනෙක විදියේ චරිතයන් හරහා රංගනයේ යෙදෙමින් මහපොළොවෙන් උපන් දාහය ,වෙහෙස,මහන්සිය,මහ පොළොවේ හද ගැස්ම පවා දත් කලංට කැමරා කාචය ඉදිරියේ රංගනයේ යෙදීම යනු තවත් එක වචනයක් මිස මාතෘකාවක් නොවිය.ලාංකේය සිනමාවේ අපුර්වතම කතාවක් වූ හන්තාන් කතාව බිහිකරන සුගතපාලද සෙනරත් යාපා නමැති නිර්මාණ කරුගේ, කතාවේ විජය කුමාරතුංග සමග හරි හරියට රගන ඒ බුහුටි ඇට්ටර දගකාර සිනමා පෞර්ශය එවකට සිනමාගාරයට අමුතුම ආස්වාදයක් සැපයිය.
කොහ්න්දෝ සිට හමා ආ සුළගට උඩ බොත්තම විවර කල ෂර්ට් එකත්,බෙල් කලිසමත් එක්ක ඉස්මතු වූ කෙට්ටු දගකාර නළුකමත් මේ කලං බව ප්‍රේක්ෂකාගාරය නිලංකාරව බලා සිටියදී මීලගට තදටම අවබෝධ කරගත්තේ අහස ගව්ව තුළිනි.ගව්ගනනක් දුර අහසට විසිවුණු යෞවනයේ බලාපොරොත්තු වලට සජීවී රණගනයක් සැපයු කලං විලාසිතාවක් බවට පත්වනුයේ අහස ගව්ව හරහාය.අදටත් ලාංකේය සිනමා වංශ කතාවේ ඉහළ අහසේ වැජබෙන වම් ඉවුරේ අද්විතීය සිනමා නිර්මාණකරු ධර්මසේන පතිරාජයන්ගේ ලංකාවේ නිර්මාණ කේත අස්වැද්දු හොදම චිත්‍රපට දහය අතරට ඇතුලත්ව ඇති අහස් ගව්ව අද්විතීය නිර්මාණයකි.  
  
කලෙක ජුබිලි ශාලාවේ පැවති වර්ණවත් චිත්‍රපට සම්මාන උළෙලකදී වසරේ හොදම සජීවී අංගනයට හිමි සම්මානයට පාත්‍රවන  නළුවාගේ නම නිවේදනය කරන්න ඔන්න මෙන්න තියන මොහොතක හේතු පාටය කියාගෙන යන්නේ ගාමිණි හත්තොටුවේගම මහතාය.හතාගේ මුවෙන් එක නිමේශයක් නික්මුනේ, ඒ “අහස ගව්ව” චිත්‍රපටයේ විජේ ගේ චරිතයට රගපෑ අමරසිරි කලංසූරිය බවයි.අගනා බොහෝ වටිනා ටයි කෝට් ලෙදර් ෂුස් වලින් සැරසුණු පිරිමින්ද, දුහුල් සාරි වලින් හැඩවුණු ගැහැණුන්ද,  එකී වර්ණවත්  රාත්‍රියේ දිදුලන,සොදුරු තාරකාවන් බදු විය. කලං සම්මානය ගන්නට වේදිකාවට යන්නේ සුපුරුදු බෙල් කලිසමත්, සුළගට පපුව විවර කරලු උඩ බොත්තම ලෙහා දැමු ෂර්ට් එකත්, අවුලට සැකසු කොන්ඩයත් අරගෙනමය.එදාද ඒ කලං ම බව ප්ප්‍රත්‍යක්ෂ විය.අපේක්ෂා හරහා නැවතත් ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයේ අපේක්ෂාවන් ඉෂ්ට කරන කලං එවර අපේ කාලයේ මෙන්ම අපේ විදිහේ ප්‍රේමවන්තයෙකු  බවට පත්වේ.බඹරු ඇවිත් හී විජය සමග මිමැස්සෙකු තරමටම සියුම් ලෙස ස්වකිය දගකාර යතාර්ථවාදී රංගනය මුදාහරින කලං කොතරම් විශිෂ්ටයෙකුදැයි බඹරු ඇවිත් ගැන සිතද්දී කතා කරද්දී පවා නිරායාසයෙන්ම මතකයට නැගේ.අනුපමා හි, උපමා කළ නොකැහිතරමටම විශිෂ්ට රංගනයක නියැලෙන මේ අද්විතීය රංගන ශිල්පියා පුජා හි තම නැගණිය දුෂණය කර මරා දැමු කාමාතුරයා ඝාතනයට වරදකරු වී සාවද්‍ය මනුෂ්‍ය  ඝාතයනයක් හේතුවෙන් එල්ලා මැරීමට නියම වේ.එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රතිභාපුර්ණ රංගන ශක්තායව අදටත් ලාංකේය සිනමාවේ විශිෂ්ටයි යන තැනක කොහේ හෝ ලියැවී ඇත.
දීපෂිකා ,සරසවි මෙන්ම ජනාධිපති සම්මාන රාශියක් තම රංගනය වෙනුවෙන් ස්වකිය හැකියාවට වෙන්කරගත් ඔහු වචනාර්ථයෙන්ම විශිෂ්ටයෙකි.

                                                                                                     මොහොතක් එකතැන නතර වී කල්පනා කර බලද්දී, කලං විශිෂ්ටයෙකු වනුයේ  අතීතය තුළ පමණක්ද යන්න හදවතට දැනෙන, හදවත දවාලන, ගැටලුවකි.මන්ද නූතන තරුණ තරුණියන්ගෙන් අමරසිරි කලංසූරිය කවරෙක්දැයි විමසු කළ බොහෝ උන් නිශ්ශබ්දව ඔහේ උඩබලාගනු ඇත.මේ අසම සම රංගන ශිල්පියාගෙන් අපේ සිනමාව තවත් ලබාගත යුතු බොහෝ දෑ ඇත.වචනාර්ථයෙන්ම කලං යනු පට්ට වැඩ්ඩෙකි.ඔහුගෙන් පට්ට වැඩක් ලාංකේය සිනමාවට ලබා නොගැනීමට මෙකී කලාවටම කර ඇති මුලාවකි .
තාරුණ්‍යයේ අසීමිත දගකාරකම,රැඩිකල්කම,ඇට්ටරකම ,යතාර්ථවාදී ස්වරුපය, කලං තරමටම සිනමා කැමරාව ඉදිරියේ දිගහරින ලද රංගන ශිල්පියෙක් ලාංකේය සිනමා ඉතිහාසයේ තවත් අපට හමුනොවන තරම්ය.අද තවමත් ඩිජිටල් කැමරාව ඉදිරියේ රික්තයක්ව පවතින එකී ඇට්ටර රංගනයේ හැඩතල වලින් පොහොසත් වූ රැඩිකල් තාරුන්‍යයේ හිස් බව සිනමාව ගැන, සිනමා වේ අනාගතය ගැන ප්‍රේක්ෂකයෙකු ලෙස දෑස් දල්වා සිතිවිල්ලේ බලාසිටින මට දැනෙන මොහොතක නිරායායෙන්, සිතිවිලි අතර සිත්තම් වනුයේ කලං ඔබේ ඉතිරුණු දගකාර මන්දහාසයත් කැටිවුණු අපූරු මුවගයි.අමරසිරි කලංසූරිය නමැති විශිෂ්ට රංගන ශිල්පියාණෙනි,ඔබට ආයු බොහෝ වේවා! යැයි පතනෙමි.  

කේෂර විජේසුන්දර 

ගොස්තියාගේ අඩවිය