Tuesday, October 31, 2017

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය












                                                                           වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි.තවකෙකු බලා සිටිනුයේ තම ප්‍රශ්නයට නිශ්චිතම,නිවැරදිම පිළිතුර කාලය විසින් ලබාදෙන තුරුය.අනාගතය,වර්තමානය සහ අතීතය තුළ ජීවිතය සොයා සරණ අපට සැබැවින්ම නිශ්චිත, නියම කල ජීවිතයක් නැත.අප මේ සොයා යනුයේ, හබා යනුයේ, අවිනිශ්චිත අනාගතයකි.එය මොහොතකට අකීකරු සිහිනයකි.තව විටක අසම්මත චාරිකාවකි.මාතෘකාවක් ගැලපිය නොහැකි කතාවකි.අවසානයක් නොමැති නවකතාවකි.
ඔබත් මාත් මේ මොහොත වනවිට එකට හිද හුස්ම ගනුයේ, විසි එක්වන සියවසේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ දියුණු වෙමින් පවතින එසේත් නැත්නම් දියුණුවෙන්න අර අදින යුටෝපියානු ෆැන්ටසි මානසිකත්වයේන් පිරුණු කුඩා දූපතකය.එය වූ කලී ශ්‍රී ලංකාවයි.
ඉතා දිගු සංස්කෘතික උරුමයක්,ශිෂ්ටාචාරයකින් පොහොසත් මෙකී දූපත එකී මෙකි නොකී බොහෝ දෑ ලෝකයට කියාදුන් එනම් පුර්වාදර්ශය සකසා සපයා දුන් රට ලෙස අප අසා ඇත.මහා සාගරය පරයා යන වැව් සෑදූ ඉතිහාසයක්, අන් කිසිදු රටකට නොදැවිණි වාරි තාක්ෂණයක් අප සතුය. ලොව ප්‍රථම වරට අහසින් යන යානයක් ගැන අප අසා ඇත්තේ රාවණා යුගය තුළයි.ඒ රාවණා ගේ දඩු මොණරය යි.ලොව ඉපැරණිතම බිතුසිතුවම් සීගිරි බිතුසිතුවම් වෙද්දී,අපේ රටේ දේශීය සටන් ක්‍රම වලට බයේ,රට ආක්‍රමණයට පැමිණි බොහෝ විදේශිකයන් පලා ගිය ඉතිහාස පුවත් ගැනත් අප කොතෙකුත් අසා ඇත.
ඉතිහාසය එසේ වෙද්දී වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් වනුයේ ඇතැම් විට ලාංකිකයා කලෙක සියල්ල විසදීමටත් පවත්වාගෙන යෑමටත් උචිතම තේමාව කාලය බවට නිල කල නිසා,නියම කල නිසා වන්නට ඇත.අවිනිශ්චිත අනාගතයට නිශ්චිත පිළිතුරක් ඔවුන් අතීත කාමය තුලින්ම නිර්මාණය කරන්නට ඇත.කාලය යනු හුදෙක් මුලක්,මැදක්, අගක් සනිටුහන් කළ නොහැකි අවකාශීය ප්‍රපංචයක් වුවත් ඔවුන් එයට නිශ්චිත අර්ථයක් සපයන ලදී.
සැබවින්ම එය වූ කලී මිත්‍යාවකි.ඉතාම රහට ව්‍යාප්ත වූ කටකතාවකි.ඒ සියල්ල පෝෂණය වුයේ මිත්‍යාව,ආගම්වාදය,ජාති බේද,මෙන්ම පෘඩත්වය,වීරත්වය මෙන්ම ශ්‍රේෂ්ටත්වය යන හුදු පද භාවිතයන් හරහාය.මේ සියල්ල කැටිකොට ශුද්ධා බුද්ධි සම්පන්න ලාංකිකයාගේ හැගීම් විකෘති කිරීමට කාලය ගතවන දෙස ඔහේ බලා සිටි කාලකන්නියා කටයුතු කළේය.එහි විපාක කාලය නමැති අවකාශීය ප්‍රපංචය තුළම අදටත් නිසොල්මනේ සැරිසරමින් අපේ මහ පොළොව ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමට අවස්තාව සලසා දෙයි.

මහා සාගර පරයා යන තරමටම විශාල වැව් නිර්මාණය කළ අපට සුද්දන් ලවාවත් හරි හැටි වාරි ව්‍යාපෘතියක් කරගන්නට නොහැකි වීමේ යතාර්ථය උමා ඔය ව්‍යාපෘතිය හරහා අපට අද මනාවට පසක් කොට දෙයි.රාවණා ගේ දඩු මොණරය ලෝකයේ ප්‍රථම අහසින් ගිය යානය බවට පත් වූ රටක, අද ලාභ ලබන ගුවන් සේවයක් හෝ අංග සම්පුර්ණ පහසුකම් සහිත ගුවන්තොටුපලක් වත් පවත්වාගෙන යෑමට නොහැක.බැලස්ටික් මිසයිල න්‍යෂ්ටික අවි පවා අත්හදා බලන නූතන ලෝකයේ රටවල් අතර අද අප සිටිනුයේ කොතැනද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු හෝ සිතා බැලිය යුතු කරුණක් නොවේ.මේ සියල්ල එසේ සිදුවුවත් කණගාටුවට කරුණ නම් ලීක්වාන්යු සිංගප්පුරුව නිර්මාණය කළේ කොළඹ නගරය දෙස බලා යැයි අදටත් අපේ රටේ ඇතැමෙකු සිහිපත් කරන්නේ හද පත්ලෙන්ම නැගෙන සියුම් අභිමානයක්ද සමගින්ය.
කේෂර විජේසුන්දර

Friday, October 27, 2017




උස් කතා ඇති තැනක 
හිස්ම හිත් රාත්‍රියක
වෙස්වලාගෙන ආව
විශ් එකක් වත් ද නුඹ කෙල්ල...

චැට් එකක් බොක්කටම
හිට් නොවුන හිත් හොරකමක
මහ රෑක කෑගහන 
උගුර එච්චරට රහද?

ශිෆ්ට් එකක් කෙල වෙච්ච
දුක කළුවරක තනිවෙච්ච
මිස් වෙච්ච ත්‍රිල් එකක්
ඇත්තමයි නුඹ සොදුර

නැහැදිච්ච කටක් ළග
ලොරි ටෝක් ඇවිස්සින
තිගැස්සින සිතිවිල්ල
හිනැස්සිය නුඹ රෑම..

සුවද නැති උණුහුමක්
හදිස්සියේ දුන් හාදුවක්
වචන අඩු පදපෙළක්
තවම නුඹ අහැරිච්ච 
නැති හීනයක්...

keshara 

Monday, October 23, 2017

විසේකාර රංගන පෞරෂ්‍යය ආදරණීය කලං

                                                                         කලාව තුළ ජීවත්වීම යනු ජීවිතය පවත්වාගෙන යෑමට සුදුසුම මාධ්‍යක් නම් එකී මාධ්‍යයේ පත් ඉවුරු සිමා මායිම් අවබෝධ කරගෙන ජිවත් වූ සොදුරු මිනිසුන් අල්පය.විකල්පය ඉතිහාසය තුළ පත්තුවෙනවාට  වඩා ප්‍රතික්ෂේප වී ඇත්තේ පවතින සංධර්භය යාවත්කාලින වන රටාව අනුවය.

70,60,දශකයේ ලාංකේය සිනමාවේ තාරුණ්‍යයේ හරිම තියැරිටිකල් ව ඔහේ ගලාගෙන යෑමට පටන්ගත් මොහොතක  සිනමාවට ඔහු ප්‍රවිෂ්ට වනුයේ අනාරාධිත ආගන්තුකයෙකු ලෙසිනි.හැඩි දැඩි වැඩි පෙනුමැති තාරුණ වයසේ  සිනමා පෞරෂ්‍යය, ඉන්දියවාදී රැල්ලත් සමගින් ලාංකේය දේශීය සිනමාව වැලදගත්තේ එකම කලාවත්, එකම මුලාවත්, එවකට සිනමා ශාලාවේ බිත්ති හතරට පමණක් සීමාවී තිබූ නිසා වන්නට ඇත. 
සුපුරුදු බෙල් කලිසමත්,අවුලට පිරුණු සුළගට ඒමේ අත දගලන හිස්කෙයත්,හීන්දෑරි ඇගපතත්,උඩ බොත්තම ගැලවූ ෂර්ට් එකත් හීන්දෑරි ඇගපතත් එක්ක හැගීම් හුගක් ,දැනීම ඕනෑවටත් වඩා දැනුන දුක් විදීම උහුලන්නටත් බැරුව ජිවත් වෙන හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ  හිත් අතරින් හිට් වෙන ඉතිහාසයේ ලාංකේය සිනමා රූපය අලුත් කල වෙනස් කල රැඩිකල් රංගන ශිල්පියා ගැන ලියන්නට අවැසි බොහෝ දේ ගැන මගේ තෙළිතුඩ ඔහේ රගනු ඇත.මේ අමරසිරි කලංසූරිය නමැති අද්විතීය රංග පෞරෂ්‍යය ගැනය.ඔබටත් මටත් සමීප කලං ගැනය.
                                                                                                                           1940 සැප්තැම්බර් 20 වෙනිදා මහනුවරදී උපතලබන අමරසිරි  කලංසූරිය ජිවිතයට වැඩියෙන්ම ඉගෙන ගත්තේ නුවර අහස යටදී කිව්වොත් නිවැරදිය.උපතින්ම නැමුවත් නොනැමෙන කාගෙන යන  පෞරෂ්‍යයක්  උරුම කරගත් කලං ගේ කුඩා කාලයේම මව අහිමි වීමේ වේදනාව ඛේදනීය ලෙස අත්දකින්නට ඔහුට සිදුවේ. කලං ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජයෙන්.කාලයත් එක්ක කලංගේ සැගවිලා තියන කලා කාරයා අවදි කරන්න ඕන නිසාදෝ ,පියාගේ අභාවයෙන් පස්සේ පවුලේ අනෙක් නංගිලා මල්ලිලා උස්මහත් කරගෙන රැකබලා ගෙන ඉස්සරහට යන වගකීම් සමුදාය ඔහුගේ දෙවුර මතට පැටවෙනවා.යාන්තම් මේ තරුණයා එස් එස් සි ඉවර කළා විතරයි.අනේක විද වගකීම් එක්ක ගතේ බර ගැන නොහිතා හිතේ බර නිවාගන්න කලං කළයුතු බොහෝ දේ කරනවා ඔහු නුවර ආපනශාලාවක වැඩකරන අතරේ තමන්ගේ ඇගේ තියන ඇට්ටරකම හිතේ හයියෙන්ම වහගන්න බැරිවුන තැන, එතන වැඩ කරපු වැඩිමහල් සේවකයෙක්ට පහර දීලා එළියට බහිනවා.දෙවරක් නොහිතා තමන්ගේ අත හිරි වැටෙන තරම් හරි වැඩ කරලා ජිවිතේ නැගිටින්න හේතු හොයපු කලං ට ගල් වලක නතර වෙන්න සිද්ධ වෙන්නේ රුපියල් එකයි හැත්තෑ පහේ දවසේ පඩියට.ශ්‍රීලංකා යුධ හමුදාවේ සේවයට යන කලංගේ ජිවිතේ එතනිමුත් වෙනම තැනකට ගෙනියන්න ඔහුට ඕන වෙනවා.හමුදාවෙන් පැනලා එන කලං අවසානයේ නතරවෙන්නේ මහනුවර මල්ලිකා ජයාරූප ශාලාවේ වැඩ කරන එක ඔහුගේ ජිවිතයේ අනෙකුත් රැකියා අතරින් ඔහුට ලබා දෙන්නේ  වෙනස්ම ආකාරයක ආස්වාදයක්.ඔහුටම උරුම වෙච්ච ගති පැවතුම් නිසාදෝ නොසැහෙන මිත්‍ර සමාගමක් කලං වටා එකතුවෙලා ඉන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි.රංජිත් ට කලංව මුණ ගැහෙන්නේ මල්ලිකා එකේ වැඩ කරන කාලේ.සිනමා උෂ්නේ ගහලා තියන රංජිත්ට කලංගෙන් ලැබෙන සහයෝගය උපරිමයි කව්වොත් නිවැරදි.ඒ සහයෝගය නිසාම රන්ජිත් පෙරේරා නිර්මාණය කළ ප්‍රථම  සිනමා පටය වන “රැයත් දවාලත්” හි රංගනයේ  යෙදෙන්න අවස්තාව කලංට හිමිවෙනවා.එහි ඉතා සුළු රංගනයක නිරතවෙන අමරසිරි කලාන්සුරියගේ රංගනය ගැන වරක් ඩි.බි නිහාල්සිංහයන් රංජිත් සමගින් පවසා ඇත්තේ “කව්ද අර අතනින් එහාට මෙහාට යන හාදයා.?මිනිහා වැඩේ නියමට කරනවා”කියාය.


                                                                                                          කලංගේ එතෙක් විලංගුව තිබු සිනමා ආස්වාදය ඔහුගේ ජිවිතයට බිදෙන් බිද ටිකෙන් ටික ඇතුළු වන්නේ ඒ ආකාරයටයි.ඉන්දියානු සිනමාවේ දැවැන්ත සිනමාකරු සත්‍යජිත් රායි ගේ සිනමා නිර්මාණයනට කලංගේ අස්වාදනිය සිනමා අවකාශය පිරවීමට හැකිවන්නේ සැබවින්ම දෛවොපගත අනාගත සිනමා පෞර්ශයක් මෝදු වීමේ හැඩතල ඉසියුම් ලෙස වර්ධනය කරමින්ය.ජිවන රග මඩල තුළ  අනෙක විදියේ චරිතයන් හරහා රංගනයේ යෙදෙමින් මහපොළොවෙන් උපන් දාහය ,වෙහෙස,මහන්සිය,මහ පොළොවේ හද ගැස්ම පවා දත් කලංට කැමරා කාචය ඉදිරියේ රංගනයේ යෙදීම යනු තවත් එක වචනයක් මිස මාතෘකාවක් නොවිය.ලාංකේය සිනමාවේ අපුර්වතම කතාවක් වූ හන්තාන් කතාව බිහිකරන සුගතපාලද සෙනරත් යාපා නමැති නිර්මාණ කරුගේ, කතාවේ විජය කුමාරතුංග සමග හරි හරියට රගන ඒ බුහුටි ඇට්ටර දගකාර සිනමා පෞර්ශය එවකට සිනමාගාරයට අමුතුම ආස්වාදයක් සැපයිය.
කොහ්න්දෝ සිට හමා ආ සුළගට උඩ බොත්තම විවර කල ෂර්ට් එකත්,බෙල් කලිසමත් එක්ක ඉස්මතු වූ කෙට්ටු දගකාර නළුකමත් මේ කලං බව ප්‍රේක්ෂකාගාරය නිලංකාරව බලා සිටියදී මීලගට තදටම අවබෝධ කරගත්තේ අහස ගව්ව තුළිනි.ගව්ගනනක් දුර අහසට විසිවුණු යෞවනයේ බලාපොරොත්තු වලට සජීවී රණගනයක් සැපයු කලං විලාසිතාවක් බවට පත්වනුයේ අහස ගව්ව හරහාය.අදටත් ලාංකේය සිනමා වංශ කතාවේ ඉහළ අහසේ වැජබෙන වම් ඉවුරේ අද්විතීය සිනමා නිර්මාණකරු ධර්මසේන පතිරාජයන්ගේ ලංකාවේ නිර්මාණ කේත අස්වැද්දු හොදම චිත්‍රපට දහය අතරට ඇතුලත්ව ඇති අහස් ගව්ව අද්විතීය නිර්මාණයකි.  
  
කලෙක ජුබිලි ශාලාවේ පැවති වර්ණවත් චිත්‍රපට සම්මාන උළෙලකදී වසරේ හොදම සජීවී අංගනයට හිමි සම්මානයට පාත්‍රවන  නළුවාගේ නම නිවේදනය කරන්න ඔන්න මෙන්න තියන මොහොතක හේතු පාටය කියාගෙන යන්නේ ගාමිණි හත්තොටුවේගම මහතාය.හතාගේ මුවෙන් එක නිමේශයක් නික්මුනේ, ඒ “අහස ගව්ව” චිත්‍රපටයේ විජේ ගේ චරිතයට රගපෑ අමරසිරි කලංසූරිය බවයි.අගනා බොහෝ වටිනා ටයි කෝට් ලෙදර් ෂුස් වලින් සැරසුණු පිරිමින්ද, දුහුල් සාරි වලින් හැඩවුණු ගැහැණුන්ද,  එකී වර්ණවත්  රාත්‍රියේ දිදුලන,සොදුරු තාරකාවන් බදු විය. කලං සම්මානය ගන්නට වේදිකාවට යන්නේ සුපුරුදු බෙල් කලිසමත්, සුළගට පපුව විවර කරලු උඩ බොත්තම ලෙහා දැමු ෂර්ට් එකත්, අවුලට සැකසු කොන්ඩයත් අරගෙනමය.එදාද ඒ කලං ම බව ප්ප්‍රත්‍යක්ෂ විය.අපේක්ෂා හරහා නැවතත් ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයේ අපේක්ෂාවන් ඉෂ්ට කරන කලං එවර අපේ කාලයේ මෙන්ම අපේ විදිහේ ප්‍රේමවන්තයෙකු  බවට පත්වේ.බඹරු ඇවිත් හී විජය සමග මිමැස්සෙකු තරමටම සියුම් ලෙස ස්වකිය දගකාර යතාර්ථවාදී රංගනය මුදාහරින කලං කොතරම් විශිෂ්ටයෙකුදැයි බඹරු ඇවිත් ගැන සිතද්දී කතා කරද්දී පවා නිරායාසයෙන්ම මතකයට නැගේ.අනුපමා හි, උපමා කළ නොකැහිතරමටම විශිෂ්ට රංගනයක නියැලෙන මේ අද්විතීය රංගන ශිල්පියා පුජා හි තම නැගණිය දුෂණය කර මරා දැමු කාමාතුරයා ඝාතනයට වරදකරු වී සාවද්‍ය මනුෂ්‍ය  ඝාතයනයක් හේතුවෙන් එල්ලා මැරීමට නියම වේ.එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රතිභාපුර්ණ රංගන ශක්තායව අදටත් ලාංකේය සිනමාවේ විශිෂ්ටයි යන තැනක කොහේ හෝ ලියැවී ඇත.
දීපෂිකා ,සරසවි මෙන්ම ජනාධිපති සම්මාන රාශියක් තම රංගනය වෙනුවෙන් ස්වකිය හැකියාවට වෙන්කරගත් ඔහු වචනාර්ථයෙන්ම විශිෂ්ටයෙකි.

                                                                                                     මොහොතක් එකතැන නතර වී කල්පනා කර බලද්දී, කලං විශිෂ්ටයෙකු වනුයේ  අතීතය තුළ පමණක්ද යන්න හදවතට දැනෙන, හදවත දවාලන, ගැටලුවකි.මන්ද නූතන තරුණ තරුණියන්ගෙන් අමරසිරි කලංසූරිය කවරෙක්දැයි විමසු කළ බොහෝ උන් නිශ්ශබ්දව ඔහේ උඩබලාගනු ඇත.මේ අසම සම රංගන ශිල්පියාගෙන් අපේ සිනමාව තවත් ලබාගත යුතු බොහෝ දෑ ඇත.වචනාර්ථයෙන්ම කලං යනු පට්ට වැඩ්ඩෙකි.ඔහුගෙන් පට්ට වැඩක් ලාංකේය සිනමාවට ලබා නොගැනීමට මෙකී කලාවටම කර ඇති මුලාවකි .
තාරුණ්‍යයේ අසීමිත දගකාරකම,රැඩිකල්කම,ඇට්ටරකම ,යතාර්ථවාදී ස්වරුපය, කලං තරමටම සිනමා කැමරාව ඉදිරියේ දිගහරින ලද රංගන ශිල්පියෙක් ලාංකේය සිනමා ඉතිහාසයේ තවත් අපට හමුනොවන තරම්ය.අද තවමත් ඩිජිටල් කැමරාව ඉදිරියේ රික්තයක්ව පවතින එකී ඇට්ටර රංගනයේ හැඩතල වලින් පොහොසත් වූ රැඩිකල් තාරුන්‍යයේ හිස් බව සිනමාව ගැන, සිනමා වේ අනාගතය ගැන ප්‍රේක්ෂකයෙකු ලෙස දෑස් දල්වා සිතිවිල්ලේ බලාසිටින මට දැනෙන මොහොතක නිරායායෙන්, සිතිවිලි අතර සිත්තම් වනුයේ කලං ඔබේ ඉතිරුණු දගකාර මන්දහාසයත් කැටිවුණු අපූරු මුවගයි.අමරසිරි කලංසූරිය නමැති විශිෂ්ට රංගන ශිල්පියාණෙනි,ඔබට ආයු බොහෝ වේවා! යැයි පතනෙමි.  

කේෂර විජේසුන්දර 

Thursday, October 19, 2017

෴සිත් කවිය෴


ප්‍රේමයේ ලසොගිණි සෝසුසුම් වියැකුනා
මන්ද්‍රයේ ස්වර දැහැන හීනියට හිනැහුනා
ආත්මයෙහි ඉකිබිදින නුබේ මුව සිහිවුනා

කුරානයේ පිටු අතර රෝසමල් පරවෙලා




රැහැයියෙකු ගැයු ගීය ගිගුම් දී වියැකුනා

නුබේ මුව සිහිවෙද්දි දෙනෙත් මගේ බොද වුණා

පැටලිච සිත් සෙවන අභියස දී හමුවෙලා

පතමු අපි සමුගන්න එක මොහොතෙ හිනැහිලා


සුවද මල් පුස්බ නුබේ සලුපටෙහි ලෙලදෙනා
ඉවකලා පුස්බ නුබේ හදවතෙහි පෙම පතා
ධුර්ථයෙ පෙම් පහස පවස මගේ වැඩි කලා
ආත්මයෙහි සැනසුමම නුබේ නමට පුදකලා

රාමසාන් සදත් හෙට ඉකිබිදි හිනැහිලා
හදවතත් කවිකියයි නුබ ගැනම පවසලා
හෙටත් මම ගොම්මනේ පුරුදු තැන තනිවෙලා
ඉන්නවා ඔබ එන්න ෆර්ධාව ගෙයි තියා.෴

Keshara

බොහෝ දුර විත් අතින් ඇදගෙනම ඉතින් දැන්වත් අතහරිනවද?.......









  

බොහෝ දුර විත් අතින් ඇදගෙනම ඉතින් දැන්වත් අතහරිනවද?.......


බොහෝ දුර විත් අතින් ඇදගෙනම ඉතින් දැන්වත් අතහරිනවද?.......

අම්මේ නුබ හරි ළාමකයි ,පිරිසිදුයි ,ආදරෙයි ,
සෙනෙහසයි ,මහ බරයි
නුබේ උණුසුම් පපුකදයි ....

රත්තරන් තෝඩුවයි
ඉස්තරම් කවිපදයි
හිස්තැනක් ඒ අතර
හිඩැස නුබ ඉබේටම අහවර කරයි ...
හීනයට,හීනියට ගතුකියන,
නින්ද යන හිපියන් පත් අතර,
නුබ දුටුවාද දිනක මම දීග යනවා වත් .....?
වේදනා ගීතයයි ,කදුලැලී ,ගොම්මනේ පුරුදු
තැන නැවතිලා
හිනැහිලා මමත් මේ හීනයේ ......
හීනියට,හිනයෙන් කූද්දන්න හිත බයයි .....
දඩබ්බර මදුරුවෙක් විද්දොතින් අම්මේ ඔය
ලතැවිල්ල අහවරයි
බොහෝ දුර විත් අතින් ඇදගෙනම ඉතින් දැන්වත් අතහරිනවද?......

Tuesday, October 10, 2017

චේ තාම එහෙමමයි..


ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා. හිමිවීම් තවත් කාලයක අහිමිවීම් වෙනවා.ඒ වගේම මතකයන් අමතක වෙනවා කියන එකත් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. හැබැයි කාලයත් එක්ක කොච්චර අපි ඉස්සරහට ගියත් සමහර පුද්ගලයින් ජිවත් වෙනවා, අපි හැමෝටම දැනෙනවා. ඒ වෙනස් වෙන මොහොතකවත් එහෙමත් නැත්නම් ගතවෙන කාලය තුළවත් නෙවෙයි. ආත්මීය හදවත් වල.භෞතික ශරීරයක් දකින්න,අහන්න,විදින්න නැති වුනත් සංකේතයක් විදිහට, වෙනස්වෙන මිනිස්සු බොහොම පරෙස්සමට වෙනස් නොකර මේ අසාමාන්‍ය සංකේත අදටත් ජිවත් කරවන්න උත්සහ කරනවා. එහෙව් සංකේතයක්, ඒ තමයි චේ. චේ පළදින සමාජයක්, ලෝකයක්. චේ පිළිපැද්දානම් කොච්චර සුන්දරද කියලා එක මොහොතක් නැවතිලා කල්පනා කරද්දි මං මගෙන්ම ප්‍රශ්න කරනවා.1967 මේ ඔක්තෝබරයේ 8 වෙනිදා වුන දවසක බොලිවියාවේ ලාහුගුවෙරාවවේ අබලන් වෙච්ච පාසල් ගොඩනැගිල්ලක චේ කියන “ගරිල්ලා සටන්කාමියා” අසහාය මානව වාදියා, විප්ලවවාදියා, බොලිවියානු හමුදාව අතින් ඝාතනය වෙනවා.
“ඒකතවත් මනුෂ්‍ය ඝාතනයක් විතරයි.”
මේ ලෝකේ කාටවත් චේ ඝාතනය තවත් එක
මනුෂ්‍යයෙකුගේ ඝාතනයක් විදිහට හුවා දක්වන්නට බැරි මොහොතක එක පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා මේක තවත් එක්මනුෂ්‍ය ඝාතනයක් විතරයි කියලා. ඒ වෙන කව්රුත් නෙවෙයි.අර්නස්ටෝ චේ ගුවේරා. තමන්ගේ මරණය නිශ්චිතයි කියලා දැනදැනත්, අවිනිශ්චිත හෙට දවසේ තමන් පෙනී සිටින මතවාදය නිශ්චිතව දිනනවා කියලා, අරගලය සදාතනිකයි කියලා පපුව ඉස්සරහට දාලා ජිවිතයෙන් සමුගන්න චේට තිබුන ආත්ම ශක්තිය අසාමාන්‍යයි කියලා අදටත් ලෝකයක් විශ්වාස කරනවා. චේ ව ඝාතනය කරලා අදට අවුරුදු පනහයි.
ආර්ජන්‍ටිනාවේ පරානා ගංගා මිටියාවතේ රොසයිරෝ කියන නගරයේ ධනවත් පවුලක ශ්‍රේෂ්ඨ යැයි සම්මත අයිරිෂ් රුධිරය සහිත පංචස්කන්ධයක් උත්පත්තියෙන්ම උරුමකරගත් ඔහු කාලයාගේ ඇවෑමෙන් ධනවාදී ඇමරිකාවේ කොලනියක් වෙලා තිබුන ලතින් ඇමරිකානු කලාපයේ මිනිස්සු විදින දුක සියසින්ම දැකගෙන බැටිස්ටා පාලනයට එරෙහිව කියුබාවේ ගොඩ නැගුණු කියුබානු විප්ලවයේ අසහාය ගිණි සිළුව බවට පත් වෙලා නම්බු නාම පදවි තානාන්තර පසෙක තියලා බොලිවියානු විප්ලවය මෙහෙය වනවනවා. චේ 1967 බොලිවියානු හමුදාව අතින් ඝාතනය කෙරෙනවා. නමුත් තවමත් චේ ජිවත් වෙනවා.
ඔබ සමාජය ගැන, ජීවිතය ගැන, ආදරය ගැන හුදකලාව සිතිවිල්ලේ පසුවන මොහොතක අනපේක්ෂිත ලෙස චේ ඔබ අසළට පැමිණේ වී. ඔබ නිවී සැනසිල්ලේ ඔහුව කියවන්න. ඔබ ඔහුත් සමග කතා කරන්න.ඔබ සිනහසෙන විට ඔහුත් ඔබ සමග සිනහ සෙනු ඇත. ඔබ හඩන විට ඔහු ඔබව සුවපත් කරණු නොවනුමානය. ඇල්බර්ටෝ සමගින් ගිය මෝටර් සයිකල් සවාරියේ අමරණිය මතකයන් ඔහු ඔබත් සමගින් බෙදා ගනීවි. ඔහු සංචාරය කළ රටවල් 30කට ආසන්න ප්‍රමාණයේ ජිවත්වන මිනිස්සුන්ගේ විවිධත්වය සුන්දරත්වය ගැන ඔහු ඔබට කියාදේ වී. බොහෝ වෙලාවක් ඔබත් සමගින්ම හිද ඔහු නැවත යන්නට යයි. එවිට ඔබට සිතේ වි “චේ තාමත් එහෙමමයි.” කියා.



කේෂර විජේසුන්දර

Friday, October 6, 2017

පුරුදු තැන නැවතිලා ඉන්නවද පිළිගන්න ?



හමුවෙන්න බැරි තැනක 
වෙන්වෙන්න බැරිතැනක
පෙම් කළේ අපි කෝම....
හිත්වලට නොදැනෙන්න 
ඇස් වලට නොපෙනෙන්න 

ඇහි බැම්ම උඩ නුඹේ පායාපු අඬ සදට
උරුම කළ හුරුව ලත් තුන්නෝරු තිබ්බාද?
අහවරක් කරන්නට තුන්නෝරු වල පුස්බ 
හුස්ම දුන් නුඹේ ඒ, හාදුවත් අරන් මං 
පුරුදු තැන නවතින්න ,එනවාද ඉක්මනට????

කැඩුණු සිංහලය නුඹ කියන්නට තනන විට 
මදහසට සුසර වුන නුඹේ කෝකිල ගීය 
"කාගේවත් නැති....කාටවත් නැති 
ගේමු අපි පොඩි දුවෙක් කීවා........." 
තාම මතකයි දූ ගේ මුනත්, සරදමට නුබ සිතින් පැතුවත් 

මන්නාරමේ අහස යට 
මන්දරමේ පෙම් කෙරුව හැටි 
මං නාව දාට නුබ තැවුණ හැටි 
සල්ලාපනම් තාම අහවරක් නැති 

"දකුණේ හීතල හුස්ම ටික 
උතුරේ නුබේ උනුහුමේ දැවෙනකොට 
කාසි...ලා ලියපු කවි බොදවෙලා මැකෙන කොට 
ආදරෙත් අරන් මං ගමෙන් හෙට නගින කොට 
ආසයි කියු ඒ......කැවිලි ටික පුරෝගෙන...
පුරුදු තැන නැවතිලා ඉන්නවද පිළිගන්න"

...කේෂර......

Tuesday, October 3, 2017

උත්තම පුරුෂයේ "උ"යන්න කපා.... "හු"යන්න දාගත් සත්වයා



                                                                                       කාලය අතික්‍රමණය කිරීමට කිසිවෙකුට නොහැකි බව මගේ විශ්වාසයයි.එය වූ කලි සංකල්පීය මතයකි.නමුත් ඇතැමුන් ගෙවී යන නිමේෂයන් සහ ඒ තුළ මෙන්ම පිටත පවතින සාධනීය නිශේදනිය මෙන්ම ඛේදනීය තත්වයන් අතිශය සියුම්ව විග්‍රහකරයි.බොහෝදුරට එම තත්වයන් වටහා ගැනීමට උත්සහ කරයි.එකී  උතසහය වටී.මන්ද මිනිසා මිනිසාම බව ප්‍රත්‍යක්ෂ කරගැනීමට,සහ කරලිමට නම්.මිනිසෙකු ලෙස සිතිය යුතුය.සිතිවිලි තෙලිත්තක්..වටහාගත් පමණටම එම පංචස් කන්ධය මිනිසෙකු විය නොහැක. 

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

                               

                                       විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය සැබවින්ම මෙම කුඩා දුප්පත් දුපතට පමණක් කේන්ද්‍රීය නොවන සමස්ත විශ්වීය සිනමාවටම බලපෑම් කරන සිනමා ආඛ්‍යානයක් බැවිනි. සිනමා කරුවෙකු ලෙස විමුක්තිගේ සිනමාව මුල් වරට අප කියවනු ලැබුවේ "සුළග එනු පිණිස" හරහාය. යුද්ධය තුළ ඔහු සොයා යනුයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිනමා කරුවෙකු ස්වකිය පර්යේෂණයට හෝ විචාරයට විභවය කර නොගත් රූපයකි. 2004 වසරේ සුළග එනු පිණිස නිර්මාණය වනුයේ එක්තරා ආකාරයට ශ්‍රීලංකාව තුළ එවකට ක්‍රියාත්මක වෙමින් පැවති අභ්‍යන්තරික යුද්ධයේ පැතිකඩක්, ඉතා සංකීර්ණ, ගුප්ත රූපි මෙන්ම පුළුල් පසුතල උපයෝගී කරගත් නොනවතින ප්‍රකාශනයක යථාර්තය ඉස්මතු කිරීමක් ලෙසටය. එය විටෙක යතාර්තයට බොහෝ ඈතින් පවතින සිනමා දැක්මක් විය හැක. කෙසේ වෙතත් යථාර්තය ප්‍රතිනිර්මාණය කිරීම තුළ විමුක්තිගේ භාවිත සිනමා ආඛ්‍යානය ඔහුටම අනන්‍ය වූ එකක් වේ. ඔහු පසුතලයට ගෙනෙන රූප ඒ තුළ ජිවත්වන මනුෂ්‍යයා ඔවුන්ගේ අභ්‍යන්තරික මනෝභාවයන්, මායිම් ගම්මානයේ වැසියා හා සොල්දාදුවා යන චරිත පෙළගැස්වීම හා හැඩගැන්වීම ඉතාම ගුප්ත සහගතය. එමෙන්ම ඔහු අභ්‍යන්තර සාධක හා අභ්‍යන්තර නොගැලපීම් සිනමාව යනු රූපයක් තුළින් කතාවක් කියනවා නොව, බොහෝ දෑ සිතිය හැකිය යන පරාසයට ඇද දමයි.
                                                                                              ඔහුගේ සිනමා භාවිතයන් තුළ අහසින් වැටෙයි(2009) දීත්, චත්‍රක්(2011)දීත්, සනාත කරනුයේ ඔහුගේ සිනමා ප්‍රවේශයන් තුළ ගොඩනැගෙන යම් ආකාරයක නිර්මාණකරුවෙකුට ඇති විය හැකි තවත් එක් සිතිවිල්ලකි. භාවිතය තුළ පවත්නා අතිශය ව්‍යක්ත උපයෝගීතාවයත්, ඒ හරහා ගොඩ නැගෙන සිනමා නිර්මාණයත්, හුදෙක් සමාජයක් පිබිදිමටවත්, විනාශයටවත්, එසේත් නැත්නම් ප්‍රගමනයටවත් අපේක්ෂාවක් නොවන තරමටම ශුද්ධභාවයන් මෙම නිර්මාණ තුළ දැකගත හැක. "සුළග එනු පිණිස" ජාත්‍යන්තරය මේ තරමටම වැලද ගත්තේ, ලෝකයේ සුප්‍රසිද්ධ සම්මාන උළෙලවල් ගණනාවකදී සම්මානයට පාත්‍ර වනුයේ ඔහු යොදාගත් විශේෂිත ආඛ්‍යානයේ පවත්නා ප්‍රමිතිගත ගුණාංග හේතුවෙනි. බර්ග්මාන් ගේ "silence" හා තර්කොව්ස් ගේ "sacrifice"යන චිත්‍රපට වල මෙන්ම අශෝකගේ "මේ මගේ සදයි" චිත්‍රපට ප්‍රසන්නගේ "පුරහද කළුවරයි" තුළින් අහුලාගත් බොහෝ දෑ සමාතික්‍රමණය කරමින් නිර්මාණ කරුවෙකු ලෙස තම කුළුදුල් සිනමා පටය වන "සුළග එනු පිණිස" හරහා නිර්මාණාත්මක නිර්වාණයට බොහෝ සේ සමීප වූ  බවට විචාරක මත පහල කල විමුක්ති ජයසුන්දර නමැති නවක සිනමා නිර්මාණ කරුවාගේ නුතනම ප්‍රවේශය "සුළග ගිණි අරන්" චිත්‍රපටයයි. ඔහු සුළග ගිණි අරන් හරහා කරළියට ගෙනෙන පසුතලය මේ විමුක්තිම බව තහවුරු කරයි. අධ්‍යාත්මික ගවේෂණයක යෙදෙන තරුණ බෞද්ධ භික්ෂුවක්, මිනිස් ජාවාරමේ නියැලෙන වංචනික ව්‍යාපාරිකයෙක් උමතු ජිවිතයක් ගතකරන වෛද්‍යවරයෙක් සහ ඒ සියල්ල අතර අතර මංව සිටින තරුණියක සහ තරුණයෙකු, අවිනිශ්චිත අනාගතය, පිඩිත දොම්නස් සහගත වර්තමානය "සුළග ගිණි අරන්" හරහා ප්‍රේක්ෂකයා වෙත හමාගෙන යයි. එකිනෙක චරිත ස්වකිය ජීවිතයන් තුළ පවත්වාගෙන යන ක්‍රමයන්, ක්‍රමානුකුල නොවන අපහැදිලි චින්තන රාමුවකට ගෙනෙන සිනමාකරු එය ප්‍රේක්ෂකාගාරය වෙත සමීප කරනුයේ සුපුරුදු ගැඹුරු සිනමා ආඛ්‍යානය උපයෝගී කරගනිමින්ය.  

සිනමාකරු ලිංගිකත්වය නිර්මාණයට ගෙනෙන ප්‍රවේශය පොදුය. එනම් අසම්මත වනචාරි ලිංගික මානසිකත්වයක වෛද්‍යවරයාගේ හැසිරීම තුළ 
ඉස්මතු වන පීඩනය ඔහු විසින්ම මුදාහරිනුයේ වේදනාබර විලාප හඩක්ද සමගය. සිනමා පටය පුරාවටම ඒ වේදනාව දෝංකාර දේ. එකිනෙකට නොගැලපෙන චරිත හරහා විමුක්ති ඉදිරිපත්කරන දේ "මෙයම යැයි නිශ්චිත නැත". අවිනිශ්චිත සිතිවිලි වල එකතුවක් විය හැක. නිර්මාණකරුවෙකුට එයම කියා දෙයක් නිර්මාණයට උපයුක්ත කරගැනීමට රාමුවක් නැත නිශ්චිත කතාවක් හෝ මාතෘකාවක්ද නැත. ඇතැම් විට ඔහුගේ සිතට පැමිණි සිතිවිල්ලක් මෙලෙස ඉදිරිපත්කලා වන්නට පිළිවන.
සිනමා නිර්මාණයේ අවසානයේ ඉදිරිපත්කෙරෙන ජවනිකාව අතිශය තීරණාත්මකය. වෛද්‍යවරයා අවසානයේ වනාන්තරයක් තුළ සියදිවි නසා ගනී. තරුණ භික්ෂුව සොයා යන්නේ පරම සත්‍යයි.මිනිස් ජාවාරම්කරු මෙන්ම ඒ අතර සිරවී සිටින තවත් ජීවිත එකම චක්‍රයක යදම් මෙන් එකිනෙක සිරවී ඇත. මේ සියල්ල අවසානයේ ගොනුකර ඇත්තේ මරණයෙහි ඇති යථාස්වරූපි ස්වාභාවය වටා යැයි කිවහැක.ස්වභාවධර්මය තුළ පවත්නා ගැඹුරු භාවයන් පුළුල් දර්ශන තල උපයුක්තකරගෙන විමුක්ති ස්වකිය නිර්මාණයන් වල සජීවී කරණය අතිශය ප්‍රබල ආකාරයකට නිරූපණය කරයි. අවසානයේ සිනමා කරුවෙකු ලෙස මෙම තරුණයා සොයාගෙන යන නිර්මාණාත්මක අන්තර්ගතය අතිශය ගැඹුරුය. විමුක්තිගේ සිනමාව ලාංකේය සිනමාවේ රික්තයක් පැවති ගැඹුරුතම, දරුණුතම, වින්දනාත්මක සීමාවක ස්ථානගත කරලීමට ඔහු සමත් විය. සිනමා රූපයට දිය හැකි උපරිම භාවයන් උපයෝගී කරගනිමින් මනුෂ්‍ය චිත්ත සන්තානයේ අවිවේකි හදගැස්ම ලිංගිකත්වය තුළින් ප්‍රේක්ෂකයා කිසිදිනක බලාපොරොත්තු නොවන සීමාවකට ඔහු රැගෙන ගියේය. සැබවින්ම ඔහුගේ සිනමාව තවදුරටත් අපේක්ෂා සහගතය.නමුත් ඔහු අනපෙක්ෂිතය. සිනමාව දිගුය.නිහඩය. අතලොස්සක් වූ ප්‍රේක්ෂකාගාරය බලා සිටිනුයේ මීළග නිමේෂයේ විමුක්ති ජයසුන්දර නම් නිර්මාණකරුවා  ස්වකීය කැමරාව පතිත කරන ස්ථානය වෙතය.
කේෂර

             

ගොස්තියාගේ අඩවිය