Tuesday, October 3, 2017

විමුක්තිගේ සිනමාව පිළිබදව යමක්

                               

                                       විමුක්තිගේ සිනමාව පිලිබදව යමක් ලියා තබන්නට සිතුවේ, පශ්චාත් නුතනවාදී සිනමා ප්‍රවාහය තුළ ඔහුගේ කැමරා කාචය ග්‍රහණය කරගත් පරාසය සැබවින්ම මෙම කුඩා දුප්පත් දුපතට පමණක් කේන්ද්‍රීය නොවන සමස්ත විශ්වීය සිනමාවටම බලපෑම් කරන සිනමා ආඛ්‍යානයක් බැවිනි. සිනමා කරුවෙකු ලෙස විමුක්තිගේ සිනමාව මුල් වරට අප කියවනු ලැබුවේ "සුළග එනු පිණිස" හරහාය. යුද්ධය තුළ ඔහු සොයා යනුයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිනමා කරුවෙකු ස්වකිය පර්යේෂණයට හෝ විචාරයට විභවය කර නොගත් රූපයකි. 2004 වසරේ සුළග එනු පිණිස නිර්මාණය වනුයේ එක්තරා ආකාරයට ශ්‍රීලංකාව තුළ එවකට ක්‍රියාත්මක වෙමින් පැවති අභ්‍යන්තරික යුද්ධයේ පැතිකඩක්, ඉතා සංකීර්ණ, ගුප්ත රූපි මෙන්ම පුළුල් පසුතල උපයෝගී කරගත් නොනවතින ප්‍රකාශනයක යථාර්තය ඉස්මතු කිරීමක් ලෙසටය. එය විටෙක යතාර්තයට බොහෝ ඈතින් පවතින සිනමා දැක්මක් විය හැක. කෙසේ වෙතත් යථාර්තය ප්‍රතිනිර්මාණය කිරීම තුළ විමුක්තිගේ භාවිත සිනමා ආඛ්‍යානය ඔහුටම අනන්‍ය වූ එකක් වේ. ඔහු පසුතලයට ගෙනෙන රූප ඒ තුළ ජිවත්වන මනුෂ්‍යයා ඔවුන්ගේ අභ්‍යන්තරික මනෝභාවයන්, මායිම් ගම්මානයේ වැසියා හා සොල්දාදුවා යන චරිත පෙළගැස්වීම හා හැඩගැන්වීම ඉතාම ගුප්ත සහගතය. එමෙන්ම ඔහු අභ්‍යන්තර සාධක හා අභ්‍යන්තර නොගැලපීම් සිනමාව යනු රූපයක් තුළින් කතාවක් කියනවා නොව, බොහෝ දෑ සිතිය හැකිය යන පරාසයට ඇද දමයි.
                                                                                              ඔහුගේ සිනමා භාවිතයන් තුළ අහසින් වැටෙයි(2009) දීත්, චත්‍රක්(2011)දීත්, සනාත කරනුයේ ඔහුගේ සිනමා ප්‍රවේශයන් තුළ ගොඩනැගෙන යම් ආකාරයක නිර්මාණකරුවෙකුට ඇති විය හැකි තවත් එක් සිතිවිල්ලකි. භාවිතය තුළ පවත්නා අතිශය ව්‍යක්ත උපයෝගීතාවයත්, ඒ හරහා ගොඩ නැගෙන සිනමා නිර්මාණයත්, හුදෙක් සමාජයක් පිබිදිමටවත්, විනාශයටවත්, එසේත් නැත්නම් ප්‍රගමනයටවත් අපේක්ෂාවක් නොවන තරමටම ශුද්ධභාවයන් මෙම නිර්මාණ තුළ දැකගත හැක. "සුළග එනු පිණිස" ජාත්‍යන්තරය මේ තරමටම වැලද ගත්තේ, ලෝකයේ සුප්‍රසිද්ධ සම්මාන උළෙලවල් ගණනාවකදී සම්මානයට පාත්‍ර වනුයේ ඔහු යොදාගත් විශේෂිත ආඛ්‍යානයේ පවත්නා ප්‍රමිතිගත ගුණාංග හේතුවෙනි. බර්ග්මාන් ගේ "silence" හා තර්කොව්ස් ගේ "sacrifice"යන චිත්‍රපට වල මෙන්ම අශෝකගේ "මේ මගේ සදයි" චිත්‍රපට ප්‍රසන්නගේ "පුරහද කළුවරයි" තුළින් අහුලාගත් බොහෝ දෑ සමාතික්‍රමණය කරමින් නිර්මාණ කරුවෙකු ලෙස තම කුළුදුල් සිනමා පටය වන "සුළග එනු පිණිස" හරහා නිර්මාණාත්මක නිර්වාණයට බොහෝ සේ සමීප වූ  බවට විචාරක මත පහල කල විමුක්ති ජයසුන්දර නමැති නවක සිනමා නිර්මාණ කරුවාගේ නුතනම ප්‍රවේශය "සුළග ගිණි අරන්" චිත්‍රපටයයි. ඔහු සුළග ගිණි අරන් හරහා කරළියට ගෙනෙන පසුතලය මේ විමුක්තිම බව තහවුරු කරයි. අධ්‍යාත්මික ගවේෂණයක යෙදෙන තරුණ බෞද්ධ භික්ෂුවක්, මිනිස් ජාවාරමේ නියැලෙන වංචනික ව්‍යාපාරිකයෙක් උමතු ජිවිතයක් ගතකරන වෛද්‍යවරයෙක් සහ ඒ සියල්ල අතර අතර මංව සිටින තරුණියක සහ තරුණයෙකු, අවිනිශ්චිත අනාගතය, පිඩිත දොම්නස් සහගත වර්තමානය "සුළග ගිණි අරන්" හරහා ප්‍රේක්ෂකයා වෙත හමාගෙන යයි. එකිනෙක චරිත ස්වකිය ජීවිතයන් තුළ පවත්වාගෙන යන ක්‍රමයන්, ක්‍රමානුකුල නොවන අපහැදිලි චින්තන රාමුවකට ගෙනෙන සිනමාකරු එය ප්‍රේක්ෂකාගාරය වෙත සමීප කරනුයේ සුපුරුදු ගැඹුරු සිනමා ආඛ්‍යානය උපයෝගී කරගනිමින්ය.  

සිනමාකරු ලිංගිකත්වය නිර්මාණයට ගෙනෙන ප්‍රවේශය පොදුය. එනම් අසම්මත වනචාරි ලිංගික මානසිකත්වයක වෛද්‍යවරයාගේ හැසිරීම තුළ 
ඉස්මතු වන පීඩනය ඔහු විසින්ම මුදාහරිනුයේ වේදනාබර විලාප හඩක්ද සමගය. සිනමා පටය පුරාවටම ඒ වේදනාව දෝංකාර දේ. එකිනෙකට නොගැලපෙන චරිත හරහා විමුක්ති ඉදිරිපත්කරන දේ "මෙයම යැයි නිශ්චිත නැත". අවිනිශ්චිත සිතිවිලි වල එකතුවක් විය හැක. නිර්මාණකරුවෙකුට එයම කියා දෙයක් නිර්මාණයට උපයුක්ත කරගැනීමට රාමුවක් නැත නිශ්චිත කතාවක් හෝ මාතෘකාවක්ද නැත. ඇතැම් විට ඔහුගේ සිතට පැමිණි සිතිවිල්ලක් මෙලෙස ඉදිරිපත්කලා වන්නට පිළිවන.
සිනමා නිර්මාණයේ අවසානයේ ඉදිරිපත්කෙරෙන ජවනිකාව අතිශය තීරණාත්මකය. වෛද්‍යවරයා අවසානයේ වනාන්තරයක් තුළ සියදිවි නසා ගනී. තරුණ භික්ෂුව සොයා යන්නේ පරම සත්‍යයි.මිනිස් ජාවාරම්කරු මෙන්ම ඒ අතර සිරවී සිටින තවත් ජීවිත එකම චක්‍රයක යදම් මෙන් එකිනෙක සිරවී ඇත. මේ සියල්ල අවසානයේ ගොනුකර ඇත්තේ මරණයෙහි ඇති යථාස්වරූපි ස්වාභාවය වටා යැයි කිවහැක.ස්වභාවධර්මය තුළ පවත්නා ගැඹුරු භාවයන් පුළුල් දර්ශන තල උපයුක්තකරගෙන විමුක්ති ස්වකිය නිර්මාණයන් වල සජීවී කරණය අතිශය ප්‍රබල ආකාරයකට නිරූපණය කරයි. අවසානයේ සිනමා කරුවෙකු ලෙස මෙම තරුණයා සොයාගෙන යන නිර්මාණාත්මක අන්තර්ගතය අතිශය ගැඹුරුය. විමුක්තිගේ සිනමාව ලාංකේය සිනමාවේ රික්තයක් පැවති ගැඹුරුතම, දරුණුතම, වින්දනාත්මක සීමාවක ස්ථානගත කරලීමට ඔහු සමත් විය. සිනමා රූපයට දිය හැකි උපරිම භාවයන් උපයෝගී කරගනිමින් මනුෂ්‍ය චිත්ත සන්තානයේ අවිවේකි හදගැස්ම ලිංගිකත්වය තුළින් ප්‍රේක්ෂකයා කිසිදිනක බලාපොරොත්තු නොවන සීමාවකට ඔහු රැගෙන ගියේය. සැබවින්ම ඔහුගේ සිනමාව තවදුරටත් අපේක්ෂා සහගතය.නමුත් ඔහු අනපෙක්ෂිතය. සිනමාව දිගුය.නිහඩය. අතලොස්සක් වූ ප්‍රේක්ෂකාගාරය බලා සිටිනුයේ මීළග නිමේෂයේ විමුක්ති ජයසුන්දර නම් නිර්මාණකරුවා  ස්වකීය කැමරාව පතිත කරන ස්ථානය වෙතය.
කේෂර

             

No comments:

Post a Comment

ගොස්තියාගේ අඩවිය