Wednesday, September 27, 2017

හොල්මන් ගැන කතා මවන දික්කන්ද වලව්වේ ඇත්ත කතාව..




                                                                                                    හුස්ම ගන්නවා කියලා හිතාගන්නවත් බැරිතරමටම අපේ  මිනිස්සුන්ගේ ජිවිත වැඩ වලින් සංකීර්ණ වෙලා. කාර්යාලවල, මංමාවත් වල, තමන්ගේ නිවෙස් වල තමන්ගේ ජිවිතේ හොයාගන්න අද අපි මහන්සි වෙනවා. ඒ මහන්සිය පැත්තකින් තියලා මොහොතකට හරි තමන්ගේ කියලා ලෝකයක තනිවෙන්න අවස්වථාක් දෙනවනම් කව්රුත් කැමති වෙයි ඒ අවස්ථාවේ ආශ්වාදය විදින්න. එහෙම ආශ්වාදයක් විදින්නත් කෝ අපිට වෙලාවක්, එහෙම හිතන අයට ආශ්වාදයකට එහා ගිහිල්ලා ටිකක් සංකීර්ණ ඒත් ආකර්ශණිය හරියටම කිව්වොත් ටිකක් ගුප්ත දෙයක් ගැන දැනගන්න, කියවගන්න හම්බ වුනොත් ඒ මාතෘකාව ඔහුව, ඇයව මොහොතකට වෙනම සිතිවිලි තලයකට අරගෙන යනවා කියන එක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මෙතැන්සිට ඉදිරියට ලියවෙන හැම අකුරකම,හැම වචනයකම මෙන්ම හැම පරිච්චේදයකමත් එකී අත්දැකීම අඩු නොවන තරමටම ගැබ් වෙලා තියනවා "දික්කන්ද වලව්ව" අද අපේ කතාවේ මහා ගෙදර, එහෙමත් නැත්නම් මේ ලිපියේ තේමාව කිව්වොත් නිවැරදි.
පහුගිය කාලේ සමාජ මාධ්‍ය තුළ රූප රාමු දෙකතුනක් එක්ක පොඩි විස්තරයක් දික්කන්ද වලව්ව ගැන ලිය වුනා. විස්තරය පොඩි වුනත් කාගේත් අවධානය මේ වලව්ව ගැන යොමුවුණේ ඒ කෙටි විස්තරය තුල මහා අමුතු කතාවක් සැගවිලා තියන නිසාම වෙන්න ඇති. ඒ නිසාවෙන්ම දික්කන්ද වලව්වේ සැගවිලා තියන අමුතු කතාව ලියන්න තීරණය කළා.
දික්කන්ද වලව්වේ පිහිටීම ගැන කතා කරොත් යක්කල නගරයේ සිට රදාවාන දෙසට යනවිට ඒ කියන්නේ කිරිදිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරගමත් අතර, එහෙමත් නැත්නම් යක්කල නගරය පසුකරගෙන සැතපුම් 6ක් පමණ පැමිණි පසු දික්කන්ද හංදියට පැමිණීමට පුළුවන් එතැන් සිට දික්කන්ද වලව්වට අයිති වතුයාය වතුරගමත් පිනවත්ත හංදිය දක්වා 1km පමණ විහිද යනවා, අක්කර 330 ක පමණ විශාල පොල්වත්තක් වන මෙය පිංවත්ත හංදිය තෙක්ම විහිද යන කොස්ගස් වැටියක්. මේ විදිහට අවට තියන වතු යාය මැද පිහිටා තිබෙන සුවිශාල දිකන්ද වලව්ව 231 බස් පාරට හෝ ඒ ආසන්න වෙනත් තැනකට පැහැදිලිව දැකගන්න අපහසුයි. නමුත් වතුරගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවන වෙල් යායවල් ළගදිනම් මේ වලව්ව මනාව දැකගන්න පුළුවන් එමෙන්ම මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යාන්තමින් මෙන් දැකගන්නනට පුළුවනි. හක්පිටිය ග්‍රාමනිලධාරී කොට්ටාසයට අයත් මෙම වලව්වේ ඉතිහාසය 1920 දශකයට දිවයනවා, ඔබේසේකර පරපුරට උරුමකම් කියන මේ ගොඩනැගිල්ල වර්තමානයේදී ද ක්‍රියාකාරී මට්ටමක පවතින බවයි සදහන් වන්නේ. තවද අද වනවිට මෙම භුමියේ අධිතාක්ෂණික කුකුළු ගොවිපලක්ද පවත්වාගෙන යන බවට සදහනක් තියනවා එමෙන්ම විශාල කිකිළියන් ප්‍රමාණයක් මෙම ගොවිපලේ සිටින බවද විශ්වාස කටයුතු පුද්ගලයින් අප සමග සාකච්චා කළා.
කෙසේ නමුත් මෙම ඉපැරණි ගොඩනැගිල්ලේ කාමර 100 ට ආසන්න සංඛ්‍යාවක් පවතින බවට ප්‍රබල මතයක් පවතිනවා. නමුත් ඇතැම් ගැමියන් ප්‍රකාශ කරන ආකාරයට කාමර විශාල ප්‍රමාණයක් පැවතියත් 100යකට ආසන්න කාමර සංඛ්‍යාවක් නැති අතර අදටත් මෙහි නිවැසියන් හා මෙහි සේවකයින් භාවිතයට ගනු ලබන්නේ කාමර පහකට හයකට ආසන්න සංඛ්‍යාවක් බවයි. හක්පිටිය ග්‍රාමයේ ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරන ආකාරයට 88,89 භීෂණ සාමය තුළ මෙම වලව්වේ ඉඩම හා ඒ ආශ්‍රිතව වදකාගාරයක් පවත්වාගෙන ගිය අතර ඉන් පසුව මෙම වලව්ව ආශ්‍රිතව ගුප්ත සිදුවීම් සිදුවීමට පටන්ගත් බවයි. නමුත් ඇතැමෙකුගේ මතය වනුයේ මෙම වලව්ව තුලකිසිදු අද්භූත බලවේගයක් හෝ වෙනත් කිසිදු ගුප්ත බවක් නොමැතිය යන්නයි. වලව්වේ පිහිටීමත් එහි ඉපැරණි බවත් එමෙන්ම එහි අදටත් ජීවත්වෙන ඔබේසේකර වරුන් තම පුද්ගලික ඉඩමට අනවසරයෙන් ඇතුල්වීමට කිසිවෙකුට ඉඩක් නොදීමත් යන කාරනා හේතුවෙන් ඇතැමුන් විසින් පතුරවන කට කතාවක ප්‍රතිපලයක් ලෙස මෙය භූත බංගලාවක් බවට පත්කර ඇතිබවයි.
රජගෙදර පරවියෝ චිත්‍රපටයෙහි රුගතකිරීම් වලට යොදාගෙන ඇති මෙම වලව්ව මෑත භාගයේ තවත් චිත්‍රපටයක රුගතකිරීම් සදහා, යොදාගැනීමට, සුදුසුද යන්න සොයා බැලීමට මා හදුනන කැමරා අධ්‍යක්ෂකවරයෙක් සහ තවත් පිරිසක් මෙම වලව්ව තුලට ඇතුළු වී තිබෙනවා ඔහු මා සමග මෙලෙස අදහස් දැක්විය. 
"ඕක කන්ද උඩම වගේ තියෙන්නේ පුදුම ගුප්ත බවක් තියනවා ගේට්ටුව ඉස්සරහම එහා පැත්තේ තියෙන්නේ ලොකු කුකුල් ෆාම් එකක්, අනිත් පැත්තේ තියන ගුරු පාරේ උඩටම ගිහාම තමයි වලව්වට යන්න පුළුවන්, අපිනම් ගියේ ටිකක් හවස්වෙලා මාලිගාතැන්න, පෙට්ටිගල කදුවලට අව්ව වැටිලා වලව්වට පුදුම ලස්සනට පේනවා. වලව්ව ඇතුලෙ වගේම එළියත් හුගක් අදුරු ගතියක් තියෙන්නේ. location එක හොද වුනත් lighting කරන්න අමාරු නිසා අපි වැඩේ අතහැරියා."       
මෑතක් වනතුරුම තාර්කික බුද්ධිමත්, ගවේෂකයන්ට බොහෝ විට  දිකන්ද වලව්වේ දොර විවෘතව පැවතියත්, ඔබේසේකරවරු අද වන විට එය කිසිවෙකු වෙනුවෙන් හෝ විවෘත නොකරනුයේ ඇතැම්විට තම පුද්ගලිකතත්වයට බධාවනවාට එහාගිය හේතුවක් නිසා වීමට පිළිවන්.විශේෂයෙන්ම අපට දැනගැනීමට ලැබුණු පරිදි විශාල පිරිසක් සමාජ මාධ්‍ය මගින් මෙම වලව්වේ චායාරූප දැක බලාගෙන වලව්ව තුළට යෑමට උත්සහ කරන බවයි. මේ බව අප සමග සදහන් කලේ හක්පිටිය ග්‍රාමනිලධාරී  කමල් මහතා, වැඩිදුරටත් සදහන් කළේ මේ වලව්ව තුළ අදටත් ඔබේසේකර පරපුරේ සාමාජිකයින් ජිවත් වන බවයි. කෙසේ නමුත් ගුප්ත බලවේග අද්භූත සිදුවීම් පසුපස හබායන ගවේශකයින් ලෙස ඔබට දික්කන්ද වලව්ව යනු තවත් එක් මාතෘකාවක් පමණක්ම නොවන බවනම් පැහැදිලිය.
කේෂර විජේසුන්දර

Saturday, September 23, 2017







කළුවරක් නැති දාම 
නුඹ ඇවිත් නොකියාම
දැනුන මට පුරුද්දට 
සුවද නම් නුඹේමය..


හංදියේ කෙළවරේ
මගේ පොඩි ජීවිතේ
නුඹ ආවේ හැමදාම 
8.30 බස් එකේ...


සඳ නාව කළුවරේ
නුඹයි පුන් සඳ වුනේ
ගුරු පාර කෙළවරේ
ගුරු ගෙදර නංගියේ...


Office එකේ වැඩ ගැනයි
මල්ලිගේ දඟ ගැනයි
අම්මගේ ලෙඩ ගැනයි
අප්පච්චි නැති පාළුවයි...


"කෙළවරක් දැනුනේ නෑ
හිතට නිවනකුත් නෑ
ජීවිතේ දුක තමයි" 
නුඹ කියූ වෙලාවේ...


වීල් එක නැවතිලා පපුව මගේ පිච්චුනා
ඇත්තමයි රත්තරන් මං තාම එතනමයි
ඉමක් නැති මතකයේ...


තවත් අපි හෙමින් යං
ආදරේ දැනෙන කම්
උරහිසට අත තියලා
කනට කොදුරා කියූ කතාවේ...


අරුත මම සොයනවා
අතීතයේ පිටු පුරා
නුඹ ගෙතූ කතා අද
තනිවෙලා දිගන්තේ


ගුරු පාරේ වැලි කැටත්
ගුරු ගෙදර මතකයත් 
නුඹ ගියා අරගෙනම 
ආයෙමත් නොඑන්නට
ඇත්තමයි හිස්තැනක් 
අදත් මගේ ජීවිතේ...


අහම්බෙන් හමුවුනත්
හිනැහෙන්න බැරි වුනත්
අහැරුනා ආයෙමත්
මම තාම එතනමයි 
නුඹ තාම එහෙමමයි
අපේ මේ කතාවේ...

ගොස්තියාගේ අඩවිය