Tuesday, October 31, 2017

මේ තමයි අපේ රටේ ධනාත්මක චින්තනය












                                                                           වෙනස් වෙන බොහෝ දෑ වල වගකිවයුත්තා කාලයම කියා ඇතැමෙකු තම ජිවිතයේ ඉරණම කාලයට භාර කරයි.තවකෙකු බලා සිටිනුයේ තම ප්‍රශ්නයට නිශ්චිතම,නිවැරදිම පිළිතුර කාලය විසින් ලබාදෙන තුරුය.අනාගතය,වර්තමානය සහ අතීතය තුළ ජීවිතය සොයා සරණ අපට සැබැවින්ම නිශ්චිත, නියම කල ජීවිතයක් නැත.අප මේ සොයා යනුයේ, හබා යනුයේ, අවිනිශ්චිත අනාගතයකි.එය මොහොතකට අකීකරු සිහිනයකි.තව විටක අසම්මත චාරිකාවකි.මාතෘකාවක් ගැලපිය නොහැකි කතාවකි.අවසානයක් නොමැති නවකතාවකි.
ඔබත් මාත් මේ මොහොත වනවිට එකට හිද හුස්ම ගනුයේ, විසි එක්වන සියවසේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ දියුණු වෙමින් පවතින එසේත් නැත්නම් දියුණුවෙන්න අර අදින යුටෝපියානු ෆැන්ටසි මානසිකත්වයේන් පිරුණු කුඩා දූපතකය.එය වූ කලී ශ්‍රී ලංකාවයි.
ඉතා දිගු සංස්කෘතික උරුමයක්,ශිෂ්ටාචාරයකින් පොහොසත් මෙකී දූපත එකී මෙකි නොකී බොහෝ දෑ ලෝකයට කියාදුන් එනම් පුර්වාදර්ශය සකසා සපයා දුන් රට ලෙස අප අසා ඇත.මහා සාගරය පරයා යන වැව් සෑදූ ඉතිහාසයක්, අන් කිසිදු රටකට නොදැවිණි වාරි තාක්ෂණයක් අප සතුය. ලොව ප්‍රථම වරට අහසින් යන යානයක් ගැන අප අසා ඇත්තේ රාවණා යුගය තුළයි.ඒ රාවණා ගේ දඩු මොණරය යි.ලොව ඉපැරණිතම බිතුසිතුවම් සීගිරි බිතුසිතුවම් වෙද්දී,අපේ රටේ දේශීය සටන් ක්‍රම වලට බයේ,රට ආක්‍රමණයට පැමිණි බොහෝ විදේශිකයන් පලා ගිය ඉතිහාස පුවත් ගැනත් අප කොතෙකුත් අසා ඇත.
ඉතිහාසය එසේ වෙද්දී වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් වනුයේ ඇතැම් විට ලාංකිකයා කලෙක සියල්ල විසදීමටත් පවත්වාගෙන යෑමටත් උචිතම තේමාව කාලය බවට නිල කල නිසා,නියම කල නිසා වන්නට ඇත.අවිනිශ්චිත අනාගතයට නිශ්චිත පිළිතුරක් ඔවුන් අතීත කාමය තුලින්ම නිර්මාණය කරන්නට ඇත.කාලය යනු හුදෙක් මුලක්,මැදක්, අගක් සනිටුහන් කළ නොහැකි අවකාශීය ප්‍රපංචයක් වුවත් ඔවුන් එයට නිශ්චිත අර්ථයක් සපයන ලදී.
සැබවින්ම එය වූ කලී මිත්‍යාවකි.ඉතාම රහට ව්‍යාප්ත වූ කටකතාවකි.ඒ සියල්ල පෝෂණය වුයේ මිත්‍යාව,ආගම්වාදය,ජාති බේද,මෙන්ම පෘඩත්වය,වීරත්වය මෙන්ම ශ්‍රේෂ්ටත්වය යන හුදු පද භාවිතයන් හරහාය.මේ සියල්ල කැටිකොට ශුද්ධා බුද්ධි සම්පන්න ලාංකිකයාගේ හැගීම් විකෘති කිරීමට කාලය ගතවන දෙස ඔහේ බලා සිටි කාලකන්නියා කටයුතු කළේය.එහි විපාක කාලය නමැති අවකාශීය ප්‍රපංචය තුළම අදටත් නිසොල්මනේ සැරිසරමින් අපේ මහ පොළොව ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමට අවස්තාව සලසා දෙයි.

මහා සාගර පරයා යන තරමටම විශාල වැව් නිර්මාණය කළ අපට සුද්දන් ලවාවත් හරි හැටි වාරි ව්‍යාපෘතියක් කරගන්නට නොහැකි වීමේ යතාර්ථය උමා ඔය ව්‍යාපෘතිය හරහා අපට අද මනාවට පසක් කොට දෙයි.රාවණා ගේ දඩු මොණරය ලෝකයේ ප්‍රථම අහසින් ගිය යානය බවට පත් වූ රටක, අද ලාභ ලබන ගුවන් සේවයක් හෝ අංග සම්පුර්ණ පහසුකම් සහිත ගුවන්තොටුපලක් වත් පවත්වාගෙන යෑමට නොහැක.බැලස්ටික් මිසයිල න්‍යෂ්ටික අවි පවා අත්හදා බලන නූතන ලෝකයේ රටවල් අතර අද අප සිටිනුයේ කොතැනද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු හෝ සිතා බැලිය යුතු කරුණක් නොවේ.මේ සියල්ල එසේ සිදුවුවත් කණගාටුවට කරුණ නම් ලීක්වාන්යු සිංගප්පුරුව නිර්මාණය කළේ කොළඹ නගරය දෙස බලා යැයි අදටත් අපේ රටේ ඇතැමෙකු සිහිපත් කරන්නේ හද පත්ලෙන්ම නැගෙන සියුම් අභිමානයක්ද සමගින්ය.
කේෂර විජේසුන්දර

No comments:

Post a Comment

ගොස්තියාගේ අඩවිය