Monday, November 20, 2017

නව රාජ්‍යක් ලෙස නුතන ශ්‍රී ලංකාව


කාලය බොහෝ දෑ වල තීරකයා වනුයේ සැබවින්ම තමන්ට හිමි එතැනමය යන්න නැවත නැවත ලෝකයාට ප්‍රත්‍යක්ෂ්‍ය කරන රාමුවක් තුළය. එකී රාමුව අභිබවා ස්වකිය ජිවිත මෙන්න ඉන් පරිභාහිර ලෝකය හස්තයට අරගෙන අල්ලේ නටවන්නට යත්න ධරණ නුතන මිනිසා ගේ වෑයමේ අඩු වැඩිය කොතරම්ම බොළද, ලාමක ප්‍රයත්නයක් දැයි වැටහෙනුයේ ඉදහිට ස්වභාවදර්මයා හෝ විශ්වීය ප්‍රපංචයන් අප වෙත මුදා හරින නොරිස්සුම් සහගත හැඩතල නිසාය. රතු ඉන්දියානු නායක සියැටල් කී විදිහට “මිනිසා යනු පරිසරයේ කොටසක් මිස පරිසරය යනු මිනිසාගේ කොටසක් නොවේ. අප ආරක්ෂකයෝ මිස අයිතිකරුවෝ නොවේ”.
කෙසේ වෙතත් විශ්ව ගම්මාන සංකල්ප, උග්‍ර ධනවාදය, සමාජවාදයේ හුදු සටන් පාට, ලෝක බලවතුන්ගේ ක්‍රියාකාරිත්වයන් අන්තර්ජාතික සංවිධාන මේ සියල්ලම මිනිස් සමාජීය පරිසරයේ නුතනයේ තීරකයන් වී හමාරය. එහෙව් වටපිටාවක් තුළ අප අපටම යායුතු ගමන තීරණය කිරීමට හැකිද යන්න නිරායාසයෙන් ගොඩ නැගෙන ගැටලුවකි. අවශ්‍යතාවයක් තිබුනත් එසේ සිදු කරන්නට බැරි තැනක අප හිරවී ඇත. අප පමණක් නොව සමස්ත ලෝකයම එකම දම්වැලක යදම් මෙන් එකිනෙකට එකිනෙකට බැදී ඇත. ඒ බැදීම තුළ “ශ්‍රී ලංකාව නමැති මේ දුප්පත් රටේ ක්‍රියාකාරිත්වය මෙන්ම දායකත්වය අතිශය තීරණාත්මක වනුයේ මේ සමස්තය තුළ අප රෝලක් ගැසිය යුතු නිසාය.කතාව සරලවම කිවහොත් මෙලෙසය.
පහළොස්වන, දහසයවන සියවස් වල බොහෝ අපරදිග රටවල් වල දේශ ගවේෂණ කටයුතු පුළුල් වීමත් ඔවුන් ආසියාව, අප්‍රිකාව මෙන්ම ලතින් ඇමරිකානු කලාපයේ යටත් විජිත සොයා යෑමට විවිධ හේතු පාට ඇතිව මෙම ඉසව්වලට යාත්‍රා කළ නිසාත් එම කලාප වල යටත්විජිත පිහිටවා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. එලෙස පිහිටවාගත් යටත් විජිත වල පාලනය ඔවුන්ට අවශ්‍ය ආකාරයට ගෙනගිය අතර තම ආගම් ප්‍රචාරණය මෙන්ම එම රට වල ව්‍යාපාර කටයුතු කිරීම ආදිය සාර්ථකව කරන ලදී. කෙසේ වෙතත්  විසිවන සියවසේ මුල්භාගයේ සිට යටත් විජිතවාදය දියාරු සංකල්පයක් වෙන්නට පටන් ගත් වකාවානුවක මෙම බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඕලන්දය ආදී රටවල් තම යටත් විජිත අතහැර යාමට පටන් ගත්තේය. එලෙස ඔවුන් එම රටවල් වලට නිදහස ලබා දෙන විට සියවස් ගණනාවක් යටත්විජිත මානසිකත්වයෙන් ජිවත් වූ මෙම රටවලට එය අමුතුම උත්තේජනයක් විය.
කෙසේ වෙතත් මෙම රාජ්‍යයන් ලෝක ප්‍රවාහයට සෘජුවම එසේත් නැත්නම් සක්‍රියවම සම්බන්ධ වන්නේ මෙතැන් සිටය. ආර්ථික වශයෙන් අසංවර්ධිත, දේශපාලනික වශයෙන් නවීකරණය නොවුණු එමෙන්ම සමාජීය වශයෙන් බහුවිධතාවයේ කොටස් කරුවන් ව සිටින මෙම රාජ්‍යයන් “නව රාජ්‍යයන් විය”. තවමත් තම රටට ගැලපෙන දේශපාලන ක්‍රමය අත්හදාබලමින් සිටින බොහෝ නව රාජ්‍යයන් ක්‍රියාත්මක වනුයේ විදේශ රටවල ආධාර මතින්ය. විදේශ රටවල්, සංවිධාන ණය ලබා දෙන තරමටම ඔවුන්ගේ ඇතැම් රෙගුලාසීන් වලට එකගවිමට මෙම රාජ්‍යයන් බැදී සිටි. ඒ පුද්ගලිකරණයයි. රාජ්‍ය යාන්ත්‍රණයේ පවත්නා දුර්වලතාවයන් මෙම රටවල් වලට පොදු අතර කෙසේ වෙතත් ඇතැම් රටවල් යටත්විජිත භාවයෙන් මිදුන සැනින්ම දීර්ග කාලීනව තම රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්නා ලදී. ඉන්දියාවේ අම්බෙඩ්කාර් නිර්මාණය කළ ව්‍යවස්ථාව අදටත් එහි සාර්ථකත්වය කියාපානුයේ, සිදුකර ඇති ඉතා අඩු සංශෝධන ගණන හේතුවෙන්ය. කෙසේ වෙතත් අපට තවමත් රටට සුදුසු සහ ගැලපෙන ව්‍යවස්තාවක්වත් නිර්මාණය කරගත නොහැකි වී තිබීම සෝචනීය තත්වයකි.
අවසාන වශයෙන් එක් දෙයක් නම් පැහැදිලිය 48 බ්‍රිතානයන් අපට නිදහස ලබා දී ගියත් අප නිදහස් වී නැත. ඔවුන් පසෙක තබා ගිය අවුල් වුන නූල් බෝලයක් නැවත අප රැගෙන නැවතත් අවුල් වියවුල් කරමින් පවතී. මතක තබා ගතයුතු කාරණාව වන්නේ දැනට අඩසියවසකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් අවසාන බවය.


No comments:

Post a Comment

ගොස්තියාගේ අඩවිය