Tuesday, October 10, 2017

චේ තාම එහෙමමයි..


ගතවෙන කාලය ජිවිතයේ බොහෝ දෑ වෙනස් කරනවා. හමුවීම් වෙන්වීම් බවට පත්කරනවා,වෙන්වීම් තවත් හමුවීමකට පසුබිම සකස් කරනවා. හිමිවීම් තවත් කාලයක අහිමිවීම් වෙනවා.ඒ වගේම මතකයන් අමතක වෙනවා කියන එකත් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. හැබැයි කාලයත් එක්ක කොච්චර අපි ඉස්සරහට ගියත් සමහර පුද්ගලයින් ජිවත් වෙනවා, අපි හැමෝටම දැනෙනවා. ඒ වෙනස් වෙන මොහොතකවත් එහෙමත් නැත්නම් ගතවෙන කාලය තුළවත් නෙවෙයි. ආත්මීය හදවත් වල.භෞතික ශරීරයක් දකින්න,අහන්න,විදින්න නැති වුනත් සංකේතයක් විදිහට, වෙනස්වෙන මිනිස්සු බොහොම පරෙස්සමට වෙනස් නොකර මේ අසාමාන්‍ය සංකේත අදටත් ජිවත් කරවන්න උත්සහ කරනවා. එහෙව් සංකේතයක්, ඒ තමයි චේ. චේ පළදින සමාජයක්, ලෝකයක්. චේ පිළිපැද්දානම් කොච්චර සුන්දරද කියලා එක මොහොතක් නැවතිලා කල්පනා කරද්දි මං මගෙන්ම ප්‍රශ්න කරනවා.1967 මේ ඔක්තෝබරයේ 8 වෙනිදා වුන දවසක බොලිවියාවේ ලාහුගුවෙරාවවේ අබලන් වෙච්ච පාසල් ගොඩනැගිල්ලක චේ කියන “ගරිල්ලා සටන්කාමියා” අසහාය මානව වාදියා, විප්ලවවාදියා, බොලිවියානු හමුදාව අතින් ඝාතනය වෙනවා.
“ඒකතවත් මනුෂ්‍ය ඝාතනයක් විතරයි.”
මේ ලෝකේ කාටවත් චේ ඝාතනය තවත් එක
මනුෂ්‍යයෙකුගේ ඝාතනයක් විදිහට හුවා දක්වන්නට බැරි මොහොතක එක පුද්ගලයෙක් ප්‍රකාශ කරනවා මේක තවත් එක්මනුෂ්‍ය ඝාතනයක් විතරයි කියලා. ඒ වෙන කව්රුත් නෙවෙයි.අර්නස්ටෝ චේ ගුවේරා. තමන්ගේ මරණය නිශ්චිතයි කියලා දැනදැනත්, අවිනිශ්චිත හෙට දවසේ තමන් පෙනී සිටින මතවාදය නිශ්චිතව දිනනවා කියලා, අරගලය සදාතනිකයි කියලා පපුව ඉස්සරහට දාලා ජිවිතයෙන් සමුගන්න චේට තිබුන ආත්ම ශක්තිය අසාමාන්‍යයි කියලා අදටත් ලෝකයක් විශ්වාස කරනවා. චේ ව ඝාතනය කරලා අදට අවුරුදු පනහයි.
ආර්ජන්‍ටිනාවේ පරානා ගංගා මිටියාවතේ රොසයිරෝ කියන නගරයේ ධනවත් පවුලක ශ්‍රේෂ්ඨ යැයි සම්මත අයිරිෂ් රුධිරය සහිත පංචස්කන්ධයක් උත්පත්තියෙන්ම උරුමකරගත් ඔහු කාලයාගේ ඇවෑමෙන් ධනවාදී ඇමරිකාවේ කොලනියක් වෙලා තිබුන ලතින් ඇමරිකානු කලාපයේ මිනිස්සු විදින දුක සියසින්ම දැකගෙන බැටිස්ටා පාලනයට එරෙහිව කියුබාවේ ගොඩ නැගුණු කියුබානු විප්ලවයේ අසහාය ගිණි සිළුව බවට පත් වෙලා නම්බු නාම පදවි තානාන්තර පසෙක තියලා බොලිවියානු විප්ලවය මෙහෙය වනවනවා. චේ 1967 බොලිවියානු හමුදාව අතින් ඝාතනය කෙරෙනවා. නමුත් තවමත් චේ ජිවත් වෙනවා.
ඔබ සමාජය ගැන, ජීවිතය ගැන, ආදරය ගැන හුදකලාව සිතිවිල්ලේ පසුවන මොහොතක අනපේක්ෂිත ලෙස චේ ඔබ අසළට පැමිණේ වී. ඔබ නිවී සැනසිල්ලේ ඔහුව කියවන්න. ඔබ ඔහුත් සමග කතා කරන්න.ඔබ සිනහසෙන විට ඔහුත් ඔබ සමග සිනහ සෙනු ඇත. ඔබ හඩන විට ඔහු ඔබව සුවපත් කරණු නොවනුමානය. ඇල්බර්ටෝ සමගින් ගිය මෝටර් සයිකල් සවාරියේ අමරණිය මතකයන් ඔහු ඔබත් සමගින් බෙදා ගනීවි. ඔහු සංචාරය කළ රටවල් 30කට ආසන්න ප්‍රමාණයේ ජිවත්වන මිනිස්සුන්ගේ විවිධත්වය සුන්දරත්වය ගැන ඔහු ඔබට කියාදේ වී. බොහෝ වෙලාවක් ඔබත් සමගින්ම හිද ඔහු නැවත යන්නට යයි. එවිට ඔබට සිතේ වි “චේ තාමත් එහෙමමයි.” කියා.



කේෂර විජේසුන්දර

No comments:

Post a Comment

ගොස්තියාගේ අඩවිය